April 27, 2024

“ජාතික ආණ්ඩුව දැන් ඇති“ - සාමූහික තීන්දුවකින් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මුතිවාදී ජාතික ආණ්ඩුවට එක් වූයේ එහි මධ්‍යම කාරක සභාවේ තීන්දුවකට අනුව බැවින් ඉන් ඉවත් වන්නේද සාමූහික තීන්දුවකට අනුව බව එම පක්ෂයේ නියෝජ්‍ය ඇමැතිවරු තිදෙනෙකු ප්‍රකාශ කරති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකට එක් වූ සුමේධා ජී.ජයසේන, තාරානාත් බස්නායක හා ඉන්දික බණ්ඩාරනායක යන නියෝජ්‍ය ඇමැතිවරු මේ බව අවධාරණය කළහ.

වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට මේ දිනවල ආන්දෝලනයකට ලක්වී තිබෙන පිරිස අතර තමන්ගේ නම් ද ප්‍රකාශ වී ඇති බවත් එම ප්‍රකාශයන් හි සත්‍යතාවක් නැතැයිද ඔවුහු කියා සිටිති.

එක්සත් ජාතික පක්ෂය සමග දිගටම ආණ්ඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානමක් නැති බවත් එහිදී ප්‍රකාශ කළ අතර ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී.ජයසේන මහත්මිය පැවසුවාය.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු සාකච්ඡාවක හැර වෙනත් කිසිදු සාකච්ඡාවකට තමන් සහභාගි වී නැතැයි එහිදී අදහස් දැක්වූ ඉන්දික බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේ ය.