April 24, 2024

වෛද්‍ය පාදෙනිය 2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට - GMOA මුල් පුටුව යළි පාදෙණියට

සයිටම් වෛද්‍ය ආයතනයට එරෙහිව ක්‍රියාකරන පුද්ගලයන්ගේ පසුපස සිටින රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධානියා වන දොස්‌තර පාදෙණිය මහතාගේ එකම අරමුණ වී ඇත්තේ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වී තරග කිරීම බව සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ.

සයිටම් ආයතනයට එරෙහිව දැවැන්ත වර්ජනයක්‌ රටේ ක්‍රියාත්මක වුවහොත් මේ රටේ වෛද්‍යවරුන්ට පාරේ බැස යැමට නොහැකි තත්ත්වයක්‌ උදාවෙන බව ජාතික පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් නෙවිල් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත.

සයිටම් විරෝධී වර්ජනවලට මේ රටේ පොදු ජනතාවගේ සහයක්‌ නොලැබෙන බවත් රජයේ වෛද්‍යවරුන්ගේ ප්‍රයෝජනය තකා සයිටම්වලට එරෙහිව වර්ජනයක්‌ දියත් කරන බවත් හෙතෙම කියා සිටියේය.

තම රෝහල රජයට පැවරීමෙන් පසු ඩෙංගු රෝගීන් සඳහා එය වෙන් කිරීමට රජය අදහස්‌ කිරීම ඉතා වැදගත් බවද දැනටමත් නෙවිල් ප්‍රනාන්දු රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරී පවතින අතර මහාචාර්ය කෝලිත සෙල්හේවා මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල තුළ විශේෂ ඒකකයක්‌ ක්‍රියාත්මක වන බවත් දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහසභාව ඊයේ (24) කොළඹ එම සංගම් මූලස්ථානයේදී පැවැති අතර එහිදී නව නිලධාරි මණ්ඩලය නිතරගයෙන් පත්විණ.

ඒ අනුව 2017/2018 වසරේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා පත්විය.

නව නිලධාරි මණ්ඩලය

සභාපති - විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා

ලේකම් - වෛද්‍ය හරිත අලුත්ගේ මහතා

සංස්කාරක සහ මාධ්‍ය ප්‍රකාශක - වෛද්‍ය සමන්ත ආනන්ද මහතා

උපලේකම්වරු - වෛද්‍ය නලින්ද හේරත්, වෛද්‍ය නවීන් ද සොයිසා, වෛද්‍ය චන්දන ධර්මරත්න, වෛද්‍ය කාංචන බුලංකුලම යන මහත්වරු

උපසභාපතිවරු - විශේෂඥ වෛද්‍ය සාරද කන්නන්ගර සහ විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් යන මහත්වරු

භාණ්ඩාගාරික - වෛද්‍ය නාත් විජේසූරිය මහතා

සහකාර සංස්කාරක - වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා

Last modified on Monday, 26 June 2017 12:42