May 03, 2024

හිටපු මහ බැංකු අධිපතිගෙන් ප්‍රතිචාර : ඒ චෝදනාව මට අදාළ නැහැ

රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම ඉහළ ගියේ රුපියල පාවීමට ඉඩ ඇරීම නිසා බවට චෝදනාවක් එල්ල වුණා.

ඒ චෝදනාව එල්ල වුණේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට.

විදේශ සංචිත

ඉකුත් 4 වෙනි දින මහ බැංකු අධිපති ඉල්ලා අස් වූ ඔහු ප්‍රථම වතාවට ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

තමාට මහ බැංකු අධිපතිකම භාර ගන්නා ලෙස ආරාධනා කළේ ජනපතිවරයා බව මතක් කර දෙමින් ඔහු සඳහන් කරන්නේ තමා එම ධූරය බාරගන්නා විටත් විදේශ සංචිත නොතිබුන බවයි.

තමා ඉන්දියාව , චීනය හා වෙනත් ආකාරවලින් මුදල් සොයාගෙන ඒ තුළින් ණය හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට අවශ්‍ය ඇමරිකානු ඩොලර් බිලියන එක හමාරක පමණ මුදලක් ගෙවීමෙන් රටේ ස්වාධීනත්වය යම් ආකාරයෙකින් රැකගත් බව කබ්රාල් මහතා පෙන්වා දෙනවා.

බැංකු වලට සහන

බැංකුවල නම්‍යශීලී භාවය ඉතාම අඩු මට්ටමක තිබුණු නිසා බැංකු වලට අවශ්‍ය මුදල්ද ලබා දුන් බව හිටපු මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ ඒවා තහවුරු කිරීමට අවශ්‍ය ලියකියවිලි තමන් සතුව තිබෙන බවද පෙන්වා දෙමින්.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ ඒ දේවල් බොහෝ අයට මේ වන විට මතක නැතිව තිබීම දැන් තිබෙන ප්‍රශ්නය බවයි.

තමන් මහ බැංකු අධිපතිවරයා ලෙස ගත් තීන්දු ජනපතිවරයාට හා මුදල් ඇමතිවරයාට දැනුම්දී ඇති බවත් කබ්රාල් මහතා අවධාරණය කරනවා.

ප්‍රතික්ෂේප කිරීම

තිබෙන ප්‍රශ්න හමුවේ කිසිදු දෙයක් හංගාගෙන නොකළ බව මතක් කර දෙන ඔහු ඩොලරයට සාපේක්ෂව රුපියල පාවීමට යැවීමේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.

හිටපු මහ බැංකු අධිපතිවරයා මෙම කරුණු හෙළිදරව් කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(2 votes)