May 04, 2024

ලංකාවට බලාපොරොත්තුවක් දෙයි! ඉදිරි මාස හය ගැන ගැටලුවක්

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමේ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයට අනෙකුත් පාර්ශව සමග එක්ව විසඳුම් ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අරමුදල පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට සහය දක්වන IMF වැඩසටහනක් පිළිබඳ මූලික තාක්ෂණික සාකච්ඡා අවසන් බවයි. 

අමෙරිකාවේ වොෂිංටන් නුවර පැවැති IMF සහ ලෝක බැංකු රැස්වීම අතරතුර IMF කළමනාකාර අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සහ IMF කළමනාකාරීත්වයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ඇතුළු මෙරට නියෝජිතයින් පිරිසක් හමුවුණා.

සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක වැදගත්කම 

එහිදී ආර්ථික අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා වූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.  

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික හා මූල්‍ය ප්‍රවණතා සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, යථාතත්ත්වයට පත් කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද එම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම වත්මන් ආර්ථික අර්බුදයේදී දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් කෙරෙහි ඇති වන අහිතකර බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කළ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. 

ආධාර දෙන්න තවත් මාස හයක්

ඒ අනුව ඉදිරියේදී IMF කණ්ඩායම ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමෙන් සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමෙන්, වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වනු ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 

මේ අතර විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා පැවසූවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආධාර ශ්‍රී ලංකා වෙත ලැබීමට මාස හයක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

ඒ ආධාරද ලැබෙනුයේ වාරික වශයෙන් බව ද අමාත්‍යවරයා කියා සිටියා.

එතෙක් වන මෙම අතරමැද කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා වෙනත් මාර්ග වලින් අරමුදල් සොයා ගත යුතුව ඇතැයිද විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.

ඉන්ධන ගැනීම සදහා තවත් ඩොලර් මිලියන 500ක මුල්‍ය අධාරයක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන බවද බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඩොලර් මිලියන 450 ක මුදල් හුවමාරුව ආපසු ගැනීම කල් දැමීමට කැමැත්තෙන් සිටින බව ද විදේශ අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 24 April 2022 10:37