May 04, 2024

පොලිස්පති කොමිසමට කියූ දේ කොමසාරිස් එළිපිටම කියයි

රඹුක්කනදී පොලිසිය වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පතිවරයාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරියට කැඳවා තිබුණා.

පොලිස්පතිවරයාගෙන් මානව හිමිකම් කොමිසම කළ කරුණු විමසීම සම්බන්ධයෙන් තොරතුරු එම කොමිසමේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා හෙළි කොට තිබෙනවා.

පොලිස්පති දුන් උපදෙස

මීට මාස කීපයකට පෙර සිටම උද්ඝෝෂණ වලට තුවක්කු පාවිච්චි නොකරන ලෙස තමන් අණ දී තිබූ බව පොලිස්පතිවරයා සඳහන් කළ බවයි කොමසාරිස්වරයා අනාවරණය කරන්නේ.

එහෙත් රඹුක්කන සිද්ධියේදී ඒ අණ නොතකා තුවක්කු පාවිච්චි වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය විනයානුකූල පියවර ගැනීමට තීරණය කළ බවද ඔහු සඳහන් කරනවා.

කොමසාරිස්වරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ ඉදිරියේදී සාමකාමීව සිදු වන උද්ඝෝෂණවලදී ආරක්ෂක අංශ ප්‍රචණ්ඩව කටයුතු නොකරන බවටත් සිදු වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් සියලු තොරතුරු මානව හිමිකම් කොමිසමට ලබාදීමට පොලිස්පතිවරයා එකඟ වූ බවයි.

ලබා දෙන නිර්දේශ

එම තොරතුරු විමර්ශනය කොට මානව හිමිකම් කොමිසම විසින් ලබාදෙන නිර්දේශවලට අනුව කටයුතු කිරීමට පොලිස්පතිවරයා එකඟ වූ බවයි කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ.

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය සතු තොරතුරු ලබා ගැනීම සඳහා යළිත් එළඹෙන සදුදා (25) පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට කැඳවන බවද ඔහු සඳහන් කළා.

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට පැමිණියේ හා ඉන් පිටව ගියේ එම කොමිසම අසල සිටි සමාජ ක්‍රියාකාරීන්ගේ විරෝධතා මධ්‍යයේ.

Rate this item
(1 Vote)