May 03, 2024

"ජනපති සැර වෙන්න යනවද දන්නෑ" - චමුදිතගේ නිවසේ දී අමුතුම ඉඟියක් Featured

February 15, 2022

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට දේශපාලනඥයින්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එම නිවස වෙත ඊයේ (14) පැමිණ සිටියා.

ඒ අතර සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ද වැඩම කර තිබුණා.

සමරවික්‍රම මහතාගේ නිවසේ දී උන්වහන්සේ මාධ්‍ය අමතමින් සිහිපත් කළේ හිට්ලර් කෙනෙකු විය යුතු බවට ජනාධිපතිවරයා වෙත පසුගිය දිනවල ඉදිරිපත් වූ ඉල්ලීම් පිළිබඳව යි.

ජනාධිපතිවරයා “සැර”භාවයෙන් මදි බවට විවිධ පිරිස් පසුගිය කාලයේ ප්‍රකාශ කළ බවත්, එවන් පසුබිමක ජනාධිපතිවරයා සැර වෙන්නට උත්සහ දරන්නේ ද යන ගැටළුව පැණනගින බවත් උන්වහන්සේ ඉදිරිපත් කළා.

ජනපති සැර වෙන්න හදනවාද?

වැඩිදුරටත් අදහස් දක්වමින් ආනන්ද සාගර හිමියන් මෙලෙස ප්‍රකාශ කළා.

“දිගින් දිගටම මාධ්‍යයේ වාර්තා වෙනවා, ජනාධිපතිතුමා සැර මදි, ජනාධිපතිතුමා මීට වැඩිය ඉඩි අමීන් කෙනෙක් වෙන්න ඕනෙ, හිට්ලර් කෙනෙක් වෙන්න ඕනේ කිය කිය මැති ඇමති ගොල්ලොත් කියනවා. මේ සිද්ධවෙන සිද්ධිවල බර පැණ ඔහුගේ එකවුන්ට් එකට යන්නට පුලුවන්. ජනාධිපතිතුමා සැර වෙන්න හදනවද දන්නෙත් නෑනෙ. අපි ජනාධිපතිතුමාට කියනවා, මේ ආණ්ඩුවේ මේ ආණ්ඩුවේ නිවැරදිභාවය පෙන්නන්න”

එමෙන්ම උන්වහන්සේ අවධාරණය කළේ මෙම ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් පවතින බවට යි.

“අපි විශ්වාස කරනවා මේ ප්‍රහාරයට යම් කිසි විදිහක දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා, චමුදිත මහත්තයා ඇතුළු මේ රටේ මාධ්‍ය කටයුතු සිද්ධකරන මිනිස්සුන්ගේ ආරක්ෂාව සළසන්න ආණ්ඩුව වහාම ක්‍රියාත්මක විය යුතුයි”

සුදුවෑන් සංස්කෘතිය යළිත්?

මේ අතර, නැවතත් සුදුවෑන් සංස්කෘතිය මෙරටට හඳුන්වා දීමේ කටයුත්ත ආණ්ඩුව විසින් අරඹා ඇති බව හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කරනවා.

එමෙන්ම මෙම ආණ්ඩුව බලය ලබා ගත්තේ ජාතික ආරක්ෂාව තහවුරු කරන බව සඳහන් කරමින් බව ද ඔහු සිහිපත් කළා.

මීට දින කිහිපයකට පෙර සිදුවූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉලක්ක කොට එල්ල වූ බිත්තර ප්‍රහාරය ද ආවර්ජනය කළ ගුණරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේවන විට මාධ්‍යයටත් අත තැබීමට පටන්ගෙන ඇති බව යි.

මානව හිමිකම් උල්ලංඝනය වන දෑ මේ ආකාරයෙන් සිදුවන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට මුහුණ දෙන්නේ කෙසේද යනුවෙනුයි ගුණරත්න මහතා වැඩිදුරටත් ප්‍රශ්ණ කරන්නේ.

චමුදිත ආණ්ඩුවේ වැරදි පෙන්නුවාලු!

මේ අතර දින කිහිපයක සිට අමුතුම ආකාරයේ අදහස් පළ කරමින් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ද මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කොට සිටියා.

ඔහු පෙන්වා දුන්නේ චමුදිත යනු ආණ්ඩුවේ වැරදි ඍජුව පෙන්වා දුන් පුද්ගලයෙකු බව යි.

එබැවින් මෙම ප්‍රහාරය ආණ්ඩුව විසින් කළ බවට මතයක් පැණනැගිය හැකි බව ඔහු පවසනවා.

“උදේ පත්තරේ කියවන කොට ආණ්ඩුවේ තිබෙන අඩුපාඩු ඍජුව, අපි දැක්කා චමුදිත ප්‍රකාශ කරනවා. චමුදිත වගේ බොහොම දක්ෂ මාධ්‍යවේදියෙකුගේ නිවසට මේ ප්‍රහාරයන් එල්ල කරලා සමහර විට ඒක ආණ්ඩුවේ පැත්තට අත දික් කරන්න හදාවි. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාගෙන් අපි පැහැදිලිව ඉල්ලීමක් කරනවා, එක විනාඩියක් ප්‍රමාද නොකර කරුණාකරලා මේකේ පරීක්ෂණ පවත්වලා සත්‍යය රටට හෙළි කරන්න”

හිට්ලර් ඉල්ලීම

කුට්ටිආරච්චි මහතා පසුගිය දා පසුගිය දිනක අමුතුම ආකාරයේ අදහස් කිහිපයක් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළ අතර ලෝකයම පිළිකුල් කරන සමුල ඝාතකයෙකුවන ඇඩෝල්ෆ් හිට්ලර්ගේ චරිතයට පණ පෙවීමට ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කළේ ද පුදුම සහගත අයුරින්.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ඒමේ දී ජනතාව ඔහුගෙන් බලාපොරොත්තු වූයේ හිට්ලර් වැනි නායකයෙකු බවයි ඔහු ප්‍රකාශ කළේ.

එහෙත් රාජපක්ෂ මහතා එලෙස කටයුතු නොකොට නිහතමානී ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීම අරමුණු කරගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බව  ඔහු අනාවරණය කළා.

කෙසේ වෙතත් මේවන විට රටෙහි පවතින තත්ත්වය මත ගෝඨාභය රාජපක්ෂ මහතා තුළ සැඟවී සිටින චරිතය එළියට ගත යුතු බව කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.

එම සැඟවුණු චරිතය එළියට ගෙන කෙටිකලකට හෝ මෙරට දරදඬු පාලනයක් පවත්වාගෙන යා යුතු බව යි ඔහු ප්‍රකාශ කළේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 February 2022 11:40