May 05, 2024

ආණ්ඩුවේ පිපිරීමක් - විමල්ට, වාසුට, ගම්මන්පිලට අමුතු හැන්දෙන් බෙදයි

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් දැඩි ලෙස පසුගිය කාලයේදී ආණ්ඩුව විවේචනය කළා.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සිදු කරන මහජන මන්ත්‍රණ සභාවද සංවිධානය කලේ එම අමාත්‍යවරුන් තිදෙනා ඇතුළු පිරිසක් විසින්.

කෙසේවෙතත් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ආණ්ඩුව විවේචනය කිරීම නිසා රාජ්‍ය ඇමතිධූරයෙන් ඉවත් කළද විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන ඇමතිවරුන්ට ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට ලක් වුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ "සුසිල් ප්‍රේමජයන්ත ඇමැති ධූරයෙන් නෙරපුවේ ඇයි කියන කාරණය කාටත් පැහැදිලියි. ආණ්ඩුවේ ක්‍රියා කලාපය විවේචනය කරන අනික් අයටත් කළ අනතුරු ඇඟවීමක් මේක. විමල්, ගම්මන්පිල හා වාසුට මේක බලපාන්නේ නැහැ. මෙතනදී පේනවා ආණ්ඩුව එක එක පුද්ගලයින්ට එක එක හැන්දෙන් බෙදන බව. කොහොම වුණත් ආණ්ඩුව තුළ පිපිරීමක් ඇතිව තිබෙන බව මින් පැහැදිලියි."

ඒ මහතා එම අදහස් පළ කළේ මහනුවරදී ඊයේ (09) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටම සහන දිය යුතු අවස්ථාවක ආණ්ඩුව තෝරා ගත් සුළු පිරිසකට පමණක් සහන ලබාදී තිබෙන බවත් මෙමඟින් සිදු වන්නේ උද්ධමනය ඉහළ ගොස් ජනතාව තව තවත් අසීරුතාවට පත්වීම පමණක් බවත් අත්තනායක මහතා පවසනවා.

රාජ්‍ය සේවකියින් ඇතුළු සුළු පිරිසක් වෙනුවට රජය කළ යුත්තේ රටේ සමස්ත ජනතාවට සහන සලසන ආර්ථික වැඩපිළිවෙළකට යොමුවීම බවද ඒ මහතා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළා,

"ජනතාවට සහන ලබා දෙනවාට සමගි ජනබලවේගය කිසිසේත්ම විරුද්ධ නැහැ. නමුත් මේ පවතින ආර්ථික තත්ත්වය තුළ සහන දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක්. රටේ මිලියන 21ක ජනතාව සිටින්නේ ඉතාම දුක්ඛිත තත්ත්වයට පත්වෙලයි. රාජ්‍ය සේවකයින්ට, විශ්‍රාමිකයින්ට රුපියල් 5000ක් දීලා සමස්ත ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැහැ. මෙමගින් සිදු වන්නේ ඒ ජනතාවගේ ප්‍රශ්න තවත් උග්‍ර වීමයි. අයවැය හිඟය පියවා ගැනීමටවත් නොහැකිව සිටින ආණ්ඩුව තවත් සහන දෙන්නේ කොහොමද? මුදල් අච්චු ගහලා ජනතාවට දීමෙන් රටේ ප්‍රශ්න තවත් උග්‍ර වෙනවා. ජීවන වියදම තවත් ඉහළ යන එක වලක්වන්න බැහැ. සුසිල් ප්‍රේමජයන්ත ඇමැති ධූරයෙන් නෙරපුවේ ඇයි කියන කාරණය කාටත් පැහැදිලියි. ආණ්ඩුවේ ක්‍රියා කලාපය විවේචනය කරන අනික් අයටත් කළ අනතුරු ඇඟවීමක් මේක. විමල්, ගම්මන්පිල හා වාසුට මේක බලපාන්නේ නැහැ. මෙතනදී පේනවා ආණ්ඩුව එක එක පුද්ගලයින්ට එක එක හැන්දෙන් බෙදන බව. කොහොම වුණත් ආණ්ඩුව තුළ පිපිරීමක් ඇතිව තිබෙන බව මින් පැහැදිලියි. සමගි ජන බලවේගය මෙම පිපිරීම වාසියට ගෙන බලයට එන්න අදහසක් නැහැ. සන්ධාන හදන්නේ අපිත් එක්ක එකට යා හැකි අය සමඟ පමණයි. පක්ෂ ලෙස ප්‍රතිපත්ත වෙනස් විය හැකියි. නමුත් රටේ ගොඩගැනීම සඳහා එකඟතාවක් ඇතිව වැඩ කරන්න පුළුවන් පිරිසක් හිටියොත් තමයි සන්ධානයක් ලෙස වැඩ කිරීමට හැකියාව ලැබෙන්නේ. කොහොම වුණත් මේ වන විට පවතින තත්ත්වයෙන් රට මුදා ගෙන සංවර්ධනය කරා මෙහෙයවන්න සමගි ජන බලවේගය වටා පුළුල් සන්ධානයක් ගොඩ නැගෙනමින් පවතිනවා."

Rate this item
(0 votes)
Last modified on Sunday, 09 January 2022 20:04