May 15, 2024

මේ පාර නත්තල සමරන්නේ මෙහෙමයි

December 24, 2021

කිතුණුවන් මහත් බැතියෙන් සමරන අසිරිමත් නත්තල උදා වීමට ඇත්තේ තව දිනයක් පමණයි.

කොවිඩ් වසංගතය සහ රටේ පවතින විවිධ අර්බුධ හමුවේ සමරන මෙවර නත්තල් සුදානම ගැනයි මේ විමසා බැලීම.

ජේසුස් වහන්සේගේ උත්පත්තිය සනිටුහන් කරන නත්තල කිතුණුවන් පමණක් නොව අන්‍යාගමිකයන් ද උත්සවශ්‍රීයෙන් සමරනු ලබනවා.

පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසර කිහිපයේදී නත්තල උත්සවාකාරයෙන් සැමරීමට බොහෝ දෙනෙකුට නොහැකි වුණා.

වසර දෙකක් පුරාවට ලොවම වෙලා ගත් කොවිඩ් වසංගතය නිසා අවාසනාවකට වගේ මෙවරත් නත්තල සමරන්න වෙන්නේ ජන ජිවිතයට සිමා පමුණුවා ගනිමින්. 

අනිල් සිල්වා දේවගැතිතුමා මෙලෙස අදහස් දක්වා සිටියා,

"මේ අවුරුද්ද අපිට විතරක් නෙවෙයි ලෝකවාසීන්ට නත්තල සැමරීම අභියෝගයක්. එක පැත්තකින් ලෝකය පුරා පැතිර යන කොරෝනා වසංගතය නිසා සිමා මායිම් වැටිලා තියෙනවා. එවැනි තැනකදී නත්තලේ ප්‍රීතියට එකතු වීම ඇණ හිට තිබෙනවා. ඒ නිසා අපි දේවස්ථාන භාර දේවගැතිවරු පියතුමන්ලා හැටියට අපිට සිද්ධ වෙලා තියෙනවා නත්තලේ චාරිත්‍ර ටික විතරක් කරන්න."

කොවිඩ් වසංගතයත් සමඟ පොර බදින ජනතාව කෙමෙන් කෙමෙන් හිස ඔසවමින් සිටියත් දිනෙන් දින ඉහල යන ජිවන වියදමත් මෙවර නත්තල සැමරීමට බාධාවක් වෙලා.

"නත්තල් ආවම කැරොල් කියනවා, නත්තල් ගස් හදනවා, ගව ලෙන් හදනවා, ඒ වගේ ගොඩක් දේවල් අපි නත්තල් කාලයේ කරනවා. දැන් තියෙන ආර්ථික තත්වයත් එක්ක නත්තල කියන දේ අපෙන් ඈත් වෙන්න පටන් අරන් තියෙනවා. කොහොම හරි අපි පවුලක් විදියට නත්තල සමරන්න තමයි උත්සාහ කරන්නේ."

"අද අහස උසට අපේ බඩු මිල වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් අපේ පවුල් ජීවිතය තුළ පැන නගින ප්‍රශ්න එක්ක කොටු වෙලා තමයි මේ නත්තල සමරන්න වෙලා තියෙන්නේ. කට්ටිය එකතු කරගෙන කරන්න පුළුවන් දේවල් ගොඩක් අඩු වෙලා තියෙන්නේ."

"දරුවෝ ආස නිසා පොඩි ගවලෙනක්, නත්තල් ගහක් හදනවා. මේ පාර නත්තල නම් අපි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිත් අය ගැන නම් හිතන්නේ නැහැ. මොකද තෑගී බෝග නම් මේ පාර කිසිම දෙයක් නැහැ. සිරිතක් හැටියට එදාට පොඩ්ඩක් කිරිබත් ටිකක් උයනවා."

"දරුවෝ අඩනවා ගෙවල්වල. මේ පාර දරුවන්ට ඇඳුමක් අරන් දෙන්නවත් විදියක් නැහැ. ගන්න පඩියට වඩා වියදම් වැඩියි."

"අපි ඇඳුම් ගන්න ආසයි. බෝනික්කන්ටත් ආසයි. මම නත්තල් සීයාගෙන් ඉල්ලුවා බයිසිකලයකුයි, බෝනික්කෙකුයි. මට නත්තල් සියා දෙනවද දන්නේ නැහැ. මම ඒක බලාපොරොත්තුවෙන් ඉන්නවා."

වෙළඳුන් ද පවසන්නේ පෙර වසර වලට වඩා මෙවර නත්තලේ වෙළඳාම අඩු බවයි. 

"වෙන පාරවල් වල 22 වගේ වෙනකොට සෑහෙන්න පිරිසක් බඩු ගන්නවා. මේ වෙද්දී එහෙම බිස්නස් නැහැ."

"ඉස්සර බිස්නස් තිබ්බා. දැන් නම් එහෙම නැහැ. එන මිනිස්සු බඩු බලලා විතරයි යන්නේ."

"මිනිස්සු අතේ එච්චර සල්ලියකුත් නැහැ."

"බිස්නස් නම් ඉතින් ගොඩක් අඩුයි. 80%ක් විතර අඩු තමයි. බඩු ගන්න ආවම මිනිස්සු අහනවා මොනවද අඩුවට තියෙන්නේ කියලා. සෙනග නැහැ පාරේ කොහෙවත්."

  

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 December 2021 20:53