April 28, 2024

2024දී කොළඹ පැල්පත්වාසීන් නැහැ

December 16, 2021

"නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් 2024 වන විට නිවාස 50,000 ක් නිම කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව මේ වන විට නිවාස ඒකක 14,083 ඉදිකිරීම් අවසන් කර ජනතාවට ලබා දීමට කටයුතු කරලා තියනවා. ඒ අනුව 2024 වන විට කොළඹ ප්‍රදේශයේ පවතින අඩු පහසුකම් ජනාවාස නවීන මහල් නිවාස බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් අපි සකස් කරලයි තියෙන්නේ." යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 800කට නේවාසික පහසුකම් සැලසීම සහ කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේදී ඉවත් කළ ජනාතාව ඇතුළු අඩු ආදායම්ලාභි ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස 528කින් සමන්විත කොළොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (15) පස්වරුවේ එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මේ අතර වසර 35කට අධික කාලයක් වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ නියැලෙමින් කම්කරු සේවය වෙනුවෙන් තම කාලය කැප කළ කම්කරු නායකයින් හා රාජ්‍ය සේවකයින් ඇගයීමේ අවස්ථාවට ද අග්‍රාමාත්‍යවරයා ඊයේ එක්වුණා.

අරලියගහ මන්දිරයේ පැවති ශ්‍රමයට අභිමන් - ජනතා බුහුමන් 2021 ඇගයීම් උළෙලේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සැබෑ කම්කරු නායකයින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සටන් නොකරන බවයි.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව පහතින්,

"2014 වර්ෂයේදී තමයි අපි මේ නිවාස සංකීර්ණය හදන්න මුල පිරුවේ. මේ නිවාස සංකීර්ණය සුවිශේෂී නිවාස ව්‍යපෘතියක්. කුලුනු තුනක් විදියට ඉදිවෙලා තිබෙන මෙම නිවාස සංකීර්ණයෙන් එක් කුලුනක් සම්පූර්ණයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයට වෙන්වෙනවා. ඒ එහි නේවාසිකාගාරයක් විදියට යොදාගන්න.
මේ නිවාස ව්‍යාපෘතියට ඉඩම් දීපු ජනතාවටත්, කැලණිවැලි  දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ දී ඉවත් කරන ජනතාවටත් මේ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලැබෙනවා. අනවසරයෙන් පදිංචිවෙලා හිටියත් ඒ අයටත් නිවසක අයිතිය දෙන්න අපට උවමනා වුණා. ඒ නිසා ඒ අයටත් මෙතැනින් නොමිලේම නිවසක් ලැබෙනවා. ඒ පවුල්වල දරුවන්ටත් ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්න අද හැකිවෙලා තියෙනවා. ඔවුන්ට නිවසකට උරුමකමක් වගේම තමන්ගේම කියල ලිපිනයකුත් ලැබිල තියෙනවා."

"අපගේ මේ උත්සාහය නිවාස නැති පුරවැසියන්ට උපන් බිමෙහි සැබෑ අයිතිය ලබා දීමටයි. අපි ක්‍රියාත්මක කරන නිවාස වැඩ සටහන්වලදී සිංහල, දෙමළ, මුස්ලිම් කියලා ජාති භේදයක් නෑ. ඒ වගේම පක්ෂ භේදයකුත් නෑ. මතක තියාගන්න නිවසක් නැති කෙනෙක් උපන් බිමෙහි බෝඩිංකාරයෙක් වගේ. ඒ යුගය ඉදිරි වසර කීපය තුළ නිමා කරන්න ඕනේ."

"අපි මේ නිවාස වැඩ සටහන කරන්නේ ප‍්‍රතිපත්තියක් ඇතිව. ඉදිරි දැක්මක් ඇතිව. මේක දේශපාලන අරමුණකින් කරන වැඩ පිළිවෙලක් නෙවෙයි.
නිවාස හදනවාට වඩා නිවාස හදන බව රටට කියන්න වියදම් කළ ආණ්ඩු පහුගිය කාලයේ තිබුණා. පහුගිය යහපාලන ආණ්ඩුවේ නිවාස ව්‍යාපෘතිවල ප‍්‍රචාරණ වියදම රුපියල් කෝටි ගණනක්. ඒ මුදල්වලින් නිවාස දහස් ගාණක් මේ රටේ හදන්න තිබුණා. අපේ රටේ ජනතාවට ආණ්ඩුවේ නිවාස ව්‍යාපෘති ගැන හොඳ අත්දැකීම් තියෙනවා. මටත් හොඳ අත්දැකීම් තියෙනවා. මමත් ෂැඩෝ මිනිස්ටර් හැටියට විපක්ෂයේ ඉඳගෙන නිවාස ව්‍යාපෘති ගැන බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. "

"මට මතකයි ඒ දවස්වල ජයවර්ධනපුර අවට වගුරුබිම් ගොඩ කර කර ගෙවල් හදනකොට මං පාර්ලිමේන්තුවේ දී කිව්වා, මේ විදියට ගෙවල් හැදුවොත් කවදා හරි පාර්ලිමේන්තුවත් යටවෙයි කියලා. අපි ගෙවල් හදන්නේ අපේ රට ගැන හිතලා. අපි නිවාස වැඩ සටහන ක්‍රියාත්මක කරන්නේ ජනතා හිතවාදී ව්‍යාපෘති විදියට."

"ඒ වගේම අපි දෙන ගෙදර පවුලක් හැටියට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් තියෙන්න ඕන. ඒ ගෙදර නිදහසේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕන.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම පවුලකටම සුව පහසු නිවසක් ලබා දීම රජයේ අරමුණයි. මේ යටතේ නාගරික, ග්‍රාමීය, වතු සහ අවතැන්වූවන් නැවත පදිංචි කරවීම වෙනුවෙන් නිවාස ඉදි කරනවා.රට පුරාම අපි මේ නිවාස වැඩ සටහන ක්‍රියාත්මක කිරීම ආරම්භ කරලා තියනවා."

"නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් 2024 වන විට නිවාස 50,000 ක් නිම කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව මේ වන විට නිවාස ඒකක 14,083 ඉදිකිරීම් අවසන් කර ජනතාවට ලබා දීමට කටයුතු කරලා තියනවා. ඒ අනුව 2024 වන විට කොළඹ ප්‍රදේශයේ පවතින අඩු පහසුකම් ජනාවාස නවීන මහල් නිවාස බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් අපි සකස් කරලයි තියෙන්නේ."

"එදා අපි කොරියාව කියල කිව්වේ අප්‍රසන්න මුඩුක්කු පරිසරවලට. ඒත් අද කොරියාව කියන්නේ ඉහළ සංවර්ධනයක් හිමි කර ගත් ලස්සන රටක්. චීනයටත් ඒ වගේම අපහාස කරපු කාලයක් තිබුණා. අද චීනය ලොව බලවත්ම රාජ්‍යයක් බවට පත්වෙලා. පැල්පත් හා මුඩුක්කුවලින් තොර රටක් වෙනුවෙන් නාගරික සංවර්ධනයේ විප්ලවීය වෙනසකට අපි මුලපිරුවේ 2010 දි බව කියන්න ඕනෙ. 2014 වන විට අපිට හැකිවුනා, පැල්පත් හා මුඩුක්කුවල ජීවත් වුනු විශාල පිරිසක් මහල් නිවාස වල පදිංචිකරවන්න."

"කොළඹ නගරයේ ගරා වැටුණු පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ගොඩනැගිලි අපි නැවත ඒ ආකාරයටම ප්‍රතිසංස්කරණය කරල නගරයට අලුත් පෙනුමක් ලබාදුන්නා. ඒනිසාම “වේගයෙන්ම දියුණුවන  නගරය” ලෙස 2015  දී කොළඹ නගරය ජාත්‍යන්තරයේ සම්මානයට පවා ලක්වුණා. ඒ සියල්ලම යහපාලන ආණ්ඩුව විසින් විනාශ කළා. දැන් අපිට සිද්ධවෙලා තියෙන්නේ නතරකළ තැනින් ආයිමත් මුල ඉදන් පටන්ගෙන යන්න. හැබැයි අපි මේ කෙටි කාලය තුළ වැඩ ගොඩක් කරලා තියෙනවා. සෑම පවුලකටම ජීවත් වීමට සුදුසු නිවසක් ලබා දීමත්, නගර සංවර්ධනයත් සැළසුම් සහිතව සිදු කරන බව ප්‍රකාශ කරන්න ඕනේ. අපි නිවාස වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නේ දේශපාලනය ගැන බලලා නෙමෙයි. රටේ අනාගතය ගැන හිතලයි. ඔබ සැමට සුබ අනාගතයක් වේවා!"

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 December 2021 13:58