May 05, 2024

ලබන 01 වනදා සිට බුස්ටර් එන්නත‍! මූලිකත්වය ලැබෙන්නේ මේ අයටයි

එළඹෙන නොවැම්බර් 01 වන දා සිට මෙරට පුරවැසියන්ට බුස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මේ යටතේ කොව්ඩ් මර්දනයේ ඉදිරිපෙල පිරිස් සඳහා එය මුලිකව ලබා දීමට සැලසුම් කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.‍

මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට මිලියන දෙකක එන්නත් තොගයක් මේ වන විට තිබෙන බවද රඹුක්වැල්ල මහතා පැවසුවා.

ඊයේ (26) සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියා.   

බුස්ටර් එන්නත් ඉදිරි මාස තුන හතර ඇතුළත 

ඉදිරි එන්නත්කරණ කටයුතු සඳහා තවත් මිලියන 14 ½ ක එන්නත් තොග ඇනවුම් කර ඇති බවත් එම එන්නත් ක්‍රමානුකූලව මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

ඉදිරි මාස තුන හතර ඇතුළත බුස්ටර් එන්නත් මෙරට අවශ්‍ය ජනතාව උදෙසා ලබා දීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවා.

රටෙහි ජනතාවට එන්නත් මාත්‍රා තුනම ලබා දීමට රජය කිසිදු මුදලක් ජනතාවගෙන් අය නොකල බවද, එහෙත් ඇතැම් රටවල් මුදල් අය කරමින් එන්නත් ලබා දී ඇති බවද හෙතෙම ප්‍රකාශ කළා.

එන්නත ලබාගැනීමේ යම් අඩුවක්

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේ කීය.

ජනාධිපතිතුමාගේ මුලික පරමාර්ථය කොවිඩ් එන්නත ලබාගත හැකි සියළු පුරවැසියන්ට එම එන්නත රජයෙන් ලබාදිය යුතුයි යන්නය. අද වනවිට එය සාර්ථකවී තිබෙනවා. වයස අවුරුදු 30 න් ඉහළ පුරවැසියන්ට 100% ක්ම එන්නත්කර අවසන්ය. 20-29 කණ්ඩායමට එන්නත්කරණය සදහා සෞඛ්‍ය පැත්තෙන් ලබාදිය හැකි සියළු පහසුකම් හා පසුබිම නිර්මාණය කර තිබෙනවා. ඇතැම් සංවිධානවල සංවිධානාත්මක ක්‍රියා කලාපයන් තුළ එන්නත ලබාගැනීමේ යම් අඩුවක් දක්නට ලැබෙනවා. එයද මේ වන විට යහපත් පැත්තකට හැරී තිබෙනවා. ලොව ඉහළම සෞඛ්‍ය සංවිධාන සහ අනෙකුත් සාධකයන් මුලික කරගෙනය අප කටයුතු කරනු ලබන්නේ.

සංකූලතා සහිත දරුවන්ට එන්නත්කණයේදී ක්‍රමවේදයක් අපි සාකච්ඡා කළා, එම ක්‍රමවේදය ජාත්‍යන්තරව පිළිගෙන තිබෙනවා. අපේ විශේෂඥයෙන්ද එය පිළිගනු ලබනවා. අවුරුදු 18-19 එන්නත්කරණයේ දී විශේෂයෙන්ම පාසල් විවෘත කිරීමේ වැඩපිළීවෙලට ප්‍රමුඛත්වය ලබාදුන්නා. අප සෑම අවස්ථාවකම එන්නත් ක්‍රියාවලියෙන් ඉහළ මට්ටමක සිටිනවා. ලෝක දත්ත අනුව බලනවිට අපට එය පිළිගත හැකිය. එහි ප්‍රතිඵල අපි භුක්තිවිදිමින් පවතිනවා.

යම් පසුබෑමක් තිබෙනවා

මේ වනවිට අනෙක් රටවල් හා සංසන්දනය කිරීමේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපේ යම් පසුබෑමක් තිබෙනවා. එය අප නිවැරදි කළ යුතුයි. එය නිවැරදි කිරිමට රජය විසින් ගත යුතු සියළු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන තිබෙනවා. පසුබෑමට ලක් වූ හේතු සියල්ල පැත්තක තබා නව අභියෝගයක් ලෙස මෙය බාරගෙන සිටිනවා. ගුරුවරුන්ගේ  ප්‍රශ්නත් අපි දන්නවා. කිහිප දෙනෙකු අද මෙය දඩමීමා කරගනිමින් ක්‍රියා කරනවා. අප අධ්‍යාපන ක්ෂේත්‍රයට මුල්තැන දෙමින් එහි සියළු දෙනා පුර්ණ එන්නත්කරණය කර තිබෙනවා. පාසල් ප්‍රවාහන සේවා රියදුරන්ටද එය ලබාදී තිබෙනවා. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුලික අවශ්‍යතාවයන්, රැකවරණයන් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාශය හැම විටම ක්‍රියාකරනවා.  

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 October 2021 02:04