May 19, 2024

ගැසට්ටුවට කලින් පෙට්ටිය මුද්‍රණය කරලා! කිරි පිටි සමාගම් ආණ්ඩුවටත් උඩින් යයි!

මේවන විට මෙරට වෙළඳපොල තුළ දැඩි ලෙස හිඟ වී ඇති කිරි පිටි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කළා.

මෙම තීරණය ගනු ලැබූයේ පෙරේදා (07) දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු කැබිනට් මණ්ඩල රැස්වීමේ දියි.

ඒ අනුව එම තීරණය ඊයේ, එනම් ඔක්තෝබර් 08 වැනි දා දිනය දරන අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දෙනු ලැබුවා.

මෙම ගැසට්ටුවත් සමග කිරි පිටි මිල බොහෝ සෙයින් ඉහළ ගියා.

කිරි පිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 520ක් ලෙස සහ කිලෝවක පැකට්ටුවක් රුපියල් 1300ක් ලෙස යි නව මිල සඳහන් වන්නේ.

විශේෂත්වය වන්නේ මෙම නව මිල ගණන් යෝජනා කර ඇත්තේ ද කිරි පිටි ආනායනකරුවන් විසින්ම වීම යි.

මෙවන් පසුබිමක අලුතෙන් වෙළඳපොලට නිකුත් කෙරෙන කිරි පිටි පැකට්ටුවක මිල මුද්‍රණය කර ඇති ආකාරය පිළිබඳව මේවන විට සමාජ ජාල තුළ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

සමාජ ජාල පරිශීලකයින් නිරීක්ෂණය කර ඇත්තේ නව මිල සඳහන් මුද්‍රණය පැකට්ටු මත සිදු කර ඇත්තේ ඔක්තෝබර් පළමු වැනි දා බවට යි.

ඔක්තෝබර් 07 වැනි දා පැවැති කැබිනට් රැස්වීමේ දී නව කිරි පිටි මිල කොපමණදැ යි රජය තීරණය කරද්දී කිරි පිටි සමාගම් එය කලින් දැන සිටියේ ද සහ එලෙස කලින් දැනගත්තේ කෙසේ ද යන්න සමාජ ජාල තුළ දැඩි ලෙස ප්‍රශ්ණ කොට ඇති බව දක්නට ලැබෙනවා.

එමෙන්ම කිරි පිටි මිල ගණන් පිළිබඳව තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති ගැසට්ටුව නිකුත් වී ඇත්තේ ඔක්තෝබර් 08 වැනි දා වීම සහ කිරි පිටි සමාගම් මිල මුද්‍රණය කොට ඇත්තේ ඔක්තෝබර් 01 වැනි දා වීම බරපතළ ගැටළු සහගත බවක් පෙන්වන බවට සමාජ ජාල පරිශීලකයින් මත පළ කොට තිබෙනවා.

කිරි පිටි පැකට්ටු මත මිල, නිෂ්පාදිත දිනය සහ මුද්‍රණය කර ඇති දිනය ආදිය සටහන්ව ඇත්තේ මෙසේ යි.

කිරි පිටි මිල පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් වූයේ මෙසේ යි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 09 October 2021 10:32