May 02, 2024

විමල් කණ්ඩායම හිටපු ජනපති මෛත්‍රී දෙසට හැරෙයි - හදිසි සාකච්ඡාවකුත් පවත්වයි

September 26, 2021

යුගදනවි බලාගාරය ඇමරිකාවේ සමාගමකට දීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුන සන්ධානයේ සිටින සන්ධානගත පක්ෂ සිටින්නේ අප්‍රසාදයෙන්.

එහි ප්‍රතිඵලයක් ලෙස එම කණ්ඩායම මෙම ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

කොමියුනිස්ට් පක්ෂ කාර්යාල රැස්වීම

විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන කැබිනට් ඇමතිවරුන් ප්‍රමුඛ සන්ධානගත පක්ෂ 10 කණ්ඩායම එම තීන්දුව ගෙන තිබෙන්නේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව.

එම සාකච්ඡාවෙන් පසු සන්ධානගත පක්ෂ 10 නායකයින් තීරණය කර තිබෙන්නේ මෙම ප්‍රශ්නය ගැන හිටපු ජනපති වරයා සමග සාකච්ඡා කිරීමටයි.

කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවති එම සාකච්ඡාවට කලකට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාද එක්ව සිටි බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මහගමසේකර මාවතට යෑම

සන්ධානගත පක්ෂ ගත් තීන්දුවට අනුව එම කණ්ඩායමේ නායකයින් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි හිටපු ජනපතිවරයාගේ නිල නිවසට ගොස් සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊට විමල් වීරවංශ අමාත්‍යවරයා සහභාගි වී නැති බවයි දැනගන්නට තිබෙන්නේ.

වීරවංශ අමාත්‍යවරයා නියෝජනය කරමින් සහභාගී වී තිබෙන්නේ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යවරයායි.

එහිදී හිටපු ජනපති වරයා පිරිසට උපදෙසක්ද තිබෙනවා.

ඒ මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකාවට ගොස් සිටින ජනපතිවරයා එනතුරු කලබලයක් නොකරන ලෙස මෙන්ම මාධ්‍ය අමතා කිසිවක් ප්‍රකාශ නොකරන ලෙසටයි.

යුගදනවි බලාගාරය ඇමරිකාවේ සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් මෙම කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා හා මුදල් ඇමති ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිසක් සමග සාකච්ඡා කළද එය එකඟතාවයකින් තොරවයි අවසන් වී තිබෙන්නේ.

එම නිසා මේ වන විට ඇමරිකාවට ගොස් සිටින ජනපතිවරයා පැමිණි පසු ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සන්ධානගත පක්ෂ 10 කණ්ඩායම මේ වන විටත් තීරණය කර අවසන්.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 26 September 2021 23:54