May 05, 2024

"මාගේ මරණයට හේතුව" - මියගිය දැරිය සිටි රිෂාඩ්ගේ නිවසේ බිත්තියක ලියූ සටහනක් හමුවෙයි

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසෙහි මෙහෙකාරකම් සිදුකරමින් සිටියදී පිළිස්සී මියගිය ඉෂාලිනී ජූඩ් දැරිය රඳවා සිටි කාමරයේ තිබී විශේෂ සටහනක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

එම කාමරයේ බිත්තියක මෙම සටහන ඇති බව යි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරයාගේ නිවස තුළ ඇති එම කාමරය පොලීසිය විසින් පරීක්ෂා කිරීමේ දී මෙම සටහන හමු වී තිබෙනවා.

අදාළ සටහන ඉංග්‍රීසි අක්ෂර භාවිත කොට දමිළ අර්ථයක් දෙන ආකාරයෙන් ලියා ඇති බව සඳහන්.

එය සිංහලට පරිවර්තනය කළ විට “මාගේ මරණයට හේතුව” යන අර්ථය ලැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසන්නේ.

එම බිත්තියේ ඡායාරූප ද ලබා ගනිමින් ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

මේ අතර ඊයේ දින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවස රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂාවට ලක් වූවා.

එහි දී එම දෙපාර්තමේන්තුවට අයත් අත්අකුරු පිළිබඳ විශේෂඥයන් විසින් අදාළ සටහන ද පරීක්ෂා කොට තිබෙනවා.

එම සටහන ඉෂාලිනී දැරිය විසින්ම ලියන ලද්දක් දැයි සනාථ කර ගැනීම සඳහා ඇය පාසල් අධ්‍යාපනය ලැබූ සමයේ දී භාවිත කළ පොත් කිහිපයක් ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන ඇති බව යි වාර්තා වන්නේ.

ඒ අනුව බිත්තියේ ඇති සටහන සහ ඇගේ අත්අකුරු සියුම් ලෙස සංසන්දනාත්මකව විස්ලේෂණය කෙරෙනු ඇති.

මේ අතර ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් විසින් දැරියගේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව ලබාදීමට නියමිතව තිබෙනවා.

Rate this item
(9 votes)
Last modified on Tuesday, 03 August 2021 09:37