May 11, 2024

විමල්ව නිහඬ කළ අගමැති හඬ

පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගය සභාගත කිරීමේදී සිදුවූ වැරැද්දක් මුල් කොටගෙන පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

එහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ විරෝධතාවයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිහඬ කරනු ලැබුවා.

මන්ත්‍රී මරික්කාර් අනා ගැනීම

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමේ වගකීම පැවැරී තිබුණේ සමගි ජන බලවේගය නියෝජනය කරන එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයාටයි.

ඔහු එම යෝජනාව ඉදිරිපත් නොකොට කතාවක් පැවැත්වීම හේතුවෙන් එම යෝජනාව සම්මත කිරීමට නියමිතව තිබූ කබීර් හෂීම් මන්ත්‍රීවරයාට සම්මත කිරීමට යෝජනාවක් නොමැති බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සභාවට පෙන්වා දීමත් සමඟ ඊට ආණ්ඩු පක්ෂ නියෝජිතයන්ගෙන් සහයක්ද ලැබුණා.

විමල් නිහඬ කිරීම

කෙසේ වෙතත් යළිත් එම යෝජනාව ඉදිරිපත් කිරීමට මරික්කාර් මන්ත්‍රීවරයාට අවස්ථාව දීමට කතානායකවරයා තීරණය කිරීමත් සමඟ ගම්මන්පිල ඇමැතිවරයාගේ ඉතාමත් කිට්ටු මිත්‍රයා වන විමල් වීරවංශ අමාත්‍යවරයා ඊට විරෝධය දක්වමින් මරික්කාර් මන්ත්‍රීවරයා එසේ කිරීමට ඉඩ දිය නොහැකි බව කථානායකවරයාට හමුවේ තදින්ම ප්‍රකාශ කර සිටියා.

එහෙත් ඒ අවස්ථාවේ නැගී සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වීරවංශ අමාත්‍යවරයාගේ විරෝධය යටපත් කරමින් කතානායකවරයා අමතා සඳහන් කළේ "අපි විවාදයට සූදානම්ව ආවේ.ඒ නිසා යළිත් යෝජනාව ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න."කියාය.

ඒ සමගම වීරවංශ අමාත්‍යවරයා නිහඬ වූ අතර මරික්කාර් මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කරමින් සිය යෝජනාව යළිත් ඉදිරිපත් කළා.

Rate this item
(0 votes)
Last modified on Monday, 19 July 2021 19:38