May 20, 2024

සංශෝධනය අත ළඟ : විමල්ගේ නව ඇමති ධූරය තීන්දුයි - ගම්මන්පිල ගැන තීරණයක් නැහැ

ඉතා නුදුරේම කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වන බව දැන් තහවුරු වී තිබෙන්නේ.

එහිදී ස්ථිර ලෙසම විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්ගේ අමාත්‍ය විෂයන් වෙනස් කිරීමට තීන්දු කර තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

විමල්ගේ එක තීන්දුයි

කර්මාන්ත අමාත්‍ය ධුරය දරන විමල් වීරවංශ මහතාට කැබිනට් සංශෝධනයේදී ලබාදිය යුතු නව අමාත්‍යංශය පිළිබඳ තීරණයක් ගෙන ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව ඔහුට ඉදිකිරීම් අමාත්‍යාංශය හිමි වීමට නියමිතයි.

විමල් වීරවංශ මහතාට ඉදිකිරීම් අමාත්‍යංශය අලුත් අමාත්‍යංශයක් නෙවෙයි.

මීට පෙරත් වීරවංශ මහතා එම අමාත්‍ය ධුරයේ කටයුතු කර තිබෙනවා.

දැනට ඉදිකිරීම විෂය අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයට යටතටයි පත් කොට තිබෙන්නේ.

ගම්මන්පිලට ගැන තවම තීන්දුවක් නැහැ

එහෙත් ගම්මන්පිල අමාත්‍යවරයාට ලබාදිය යුතු නව අමාත්‍යාංශය පිළිබඳව තවමත් තීන්දුවක් ගෙන නැති බවයි දැනගන්නට තිබෙන්නේ.

එළඹෙන19 හා 20 දෙදින තුළ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් පැවැත්වෙන විශ්වාසභංගයෙන් පසු මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

දෙදෙනාම පොහොට්ටුවේ ඉලක්ක

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් පොදුජන පෙරමුන සන්ධානයේ සන්ධානගත පක්ෂ 2ක් වන ජාතික නිදහස් පෙරමුණේ හා පිවිතුරු හෙළ උරුමයේ නායකයින්ද වනවා.

වීරවංශ සහ ගම්මන්පිල යන අමාත්‍යවරුන් දෙදෙනාම පොදුජන පෙරමුණ සමග මත ගැටුම් ඇති කරගෙන තිබීම ප්‍රසිද්ධ කරුණක්.

මීට පෙර තීරණය කර තිබුණේ වීරවංශ සහ ගම්මන්පිල අමාත්‍යවරුන් දැනට දරන අමාත්‍යංශවල අයත් විෂයන් එසේත් නැතිනම් සංස්ථාපිත මණ්ඩල හා ආයතන රැසක් ඔවුන්ගෙන් ඉවත් කිරීමටයි.

මේ වන විටත් වීරවංශ අමාත්‍යවරයා යටතේ තිබූ පොස්පේට් සමාගම ඔහුගෙන් ඉවත් කර කෘෂිකර්ම අමාත්‍යවරයාට පවරා දී තිබෙන්නේ.

එම සමාගම අධික පාඩු ලබමින් තිබූ අතර වීරවංශ අමාත්‍යවරයා යටතේ 2020 වර්ෂයේ රුපියල් කෝටි 9ක ලාභයක් වාර්තා කළා.

Rate this item
(2 votes)
Last modified on Saturday, 17 July 2021 15:43