May 03, 2024

බැසිල් පිලේ දෙකේ ටාගට් එක තුනට නගි

පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ විශේෂ දේශපාලන ඉලක්කයකට ආරම්භයේ දෙමින්.

මීළඟ අග්‍රාමාත්‍යවරයා බවට පත් වී ඉන් පසුව එලැඹෙන ජනපතිවරණයේදී පොදුජන පෙරමුණ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම බැසිල් රාජපක්ෂ හිතවාදී කණ්ඩායමේ දේශපාලන සැලසුම හා ඉලක්කය වී තිබෙන බවයි එම කණ්ඩායමම ප්‍රසිද්ධියේ පවසා තිබෙන්නේ.

බැසිල්ගේ ඉදිරි ගමනට තිබෙන බාධක

ඒ සඳහා මෙන්ම පොදු ජන පෙරමුණ ආණ්ඩුවේ ඉදිරි ගමනට බාධකයන් වන මැති ඇමැතිවරුන් පිළිබඳවද එම කණ්ඩායමේ විශේෂ අවධානය යොමුව තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

මෑතක් වන තුරුම එම කණ්ඩායම විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් බැසිල් රාජපක්ෂ මහතාගේ ඉදිරි ඉලක්ක සඳහා යෑමේදී තිබෙන ප්‍රධාන බාධකයක් ලෙස හඳුනාගෙනයි තිබුණේ.

කණ්ඩායමට එක්වූ අලුත් සාමාජිකයා

එම කණ්ඩායමට මේ වන විට බැසිල් රාජපක්ෂ හිතවාදී කණ්ඩායම නව සාමාජිකයෙක්ද ඇතුලත් කොට තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතායි.

වීරවංශ හා ගම්මන්පිල යන අමාත්‍යවරුන්ට ආණ්ඩුවේ සිටිමින් විපක්ෂයේ කාර්යභාරය කළ නොහැකි බැවින් ආණ්ඩුවෙන් ඉවත්ව එය කරන ලෙස බැසිල් රාජපක්ෂ හිතවාදීන් මීට පෙරත් දැනුම් දී තිබුණා.

ප්‍රසිද්ධියේම විරෝධය දැක්වීම

එස්.එම්.චන්ද්‍රසේන අමාත්‍යවරයා ඒ බැව් ප්‍රසිද්ධියේම සඳහන් කළ කෙනෙක්.

මේ වන විට වීරවංශ සහ ගම්මන්පිල යන අමාත්‍යවරුන්ට විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහතාට ඉතා සමීප පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රමුඛ පිරිස පල නොකියා පලා බෙදමින් සිටින්නේ.

තමන් දරන අමාත්‍යධූරය විහිලු සහගත එකක් නම් ඉන් ඉල්ලා අස්වන ලෙස සාගර කාරියවසම් මහතා ප්‍රමුඛ එම කණ්ඩායමම දයාසිරි ජයසේකර මහතාටද ප්‍රසිද්ධියේම දැනුම් දුන්නා.

ඒ තමන් දරන බතික් රාජ්‍ය අමාත්‍ය ධූරය බැසිල් රාජපක්ෂ මහතා විසින් නිර්මාණය කළ විහිළු සහගත අමාත්‍ය ධූරයක් බවට දයාසිරි ජයසේකර මහතා ප්‍රසිද්ධියේම හැඳින්වීම හේතුවෙන්.

තුන් කට්ටුව ඉක්මනින් එලියට යැවීම

වීරවංශ , ගම්මන්පිල හා ජයසේකර යන තුන් කට්ටුව හැකි ඉක්මනින් ඔවුන් දරන අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉවත් කරගැනීම බැසිල් රාජපක්ෂ හිතවාදී පිලේ සැලැස්ම වී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 11 July 2021 09:30