May 18, 2024

(EXCLUSIVE) ජනපති සමාව අයදින ලිපියට අත්සන් තැබීමට රන්ජන් සූදානම්

රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීම මේ වන විට අවසන් වෙමින් තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

ජනපති සමාව යම් පුද්ගලයකුට අවශ්‍ය නම් ඒ ඉල්ලීම සිර දඬුවම් විඳින්න හෝ ඔහුගේ ලඟම ඥාතියෙකු කළ යුතු අතර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් එම කටයුත්ත ඔහු විසින්ම සිදු කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.

ඒ අනුව තමාට නිදහස ලබා දෙන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට රන්ජන් රාමනායක මහතා එකඟතාවය පළ කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වූ ලිපි ලේඛන සමගි ජන බලවේගයේ නීතිඥවරුන් විසින් මේ වන විට සකස් කොට තිබේ.

එහි ඊළඟ පියවර වන්නේ ඒ සඳහා රන්ජන් රාමනායක මහතාගේ අත්සන තැබීමය.

දැනගන්නට තිබෙන ආකාරයට අදාල ලිපිය ජනපතිවරයා වෙත යොමු කිරීම සඳහා හිස් කොළයක අත්සන් තබා ගෙවන ලෙස රන්ජන් රාමනායක මහතාට සමගි ජන බලවේගයේ වගකිවයුතු පිරිස් දන්වා ඇති මුත් එම ඉල්ලීම රාමනායක මහතා විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

හිස් කොලයකට අත්සන් ගෙන රන්ජන් රාමනායක මහතාගේ ලියාගන්නට බූදලයක් නැති බව රන්ජන් රාමනායක මහතාගේ මෙම ක්‍රියාවට ප්‍රතිචාර දක්වමින් ඇතැම් සමගි ජන බලවේගය ප්‍රධානීන් ප්‍රකාශ කොට තිබෙන බවද දැනගන්නට තිබේ.

විපක්ෂ නායකවරයා මෙන්ම සමගි ජන බලවේගය නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා ප්‍රථමයෙන් රන්ජන් රාමනායක මහතා සිර සිරදඬුවම් විඳිමින් සිටින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් ජනපති සමාව අයැදීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාගේ එකඟතාවය ලබා ගෙන තිබේ.

ඉන්පසුව සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් අප්‍රේල් 14 වැනි දින සිංහල - හින්දු අලුත් අවුරුද්දට සුභ පැතීමට ජනපතිට දුරකථනයෙන් කතා කළ අවස්ථාවේ රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජනපතිවරයා සඳහන් කර තිබෙන්නේ එය නීත්‍යානුකූලව කළ යුතු බවත් එහි ප්‍රථම පියවර ලෙස සිර දඬුවම් විදින්නාගෙන් තමන්ට නිදහස අවශ්‍ය බවට ලිඛිතව ඉල්ලීමක් අවශ්‍ය බවය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායක මහතා මේ වන විට වසර 4 ක සිර දඬුවමක් විදිමින් සිටින අතර ඔහුගේ මන්ත්‍රි ධුරයද මීට ටික දිනකට පෙර අහෝසි විය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 01 May 2021 11:11