May 06, 2024

කොරෝනා, ආණ්ඩුවට වසන්තයක් වෙලා - හඳුන්නෙත්ති

November 12, 2020

ආර්ථිකය පවත්වාගෙන යමින් රෝගය පාලනය කරන බවට ආණ්ඩුව පැවසුවද රෝගය පාලනය කිරීමට හැකි වී නැති අතර ආර්ථික ක්‍රියාවලියේදී ජනතාවට සාධාරණයක් ඉටුවන ආකාරයෙන් කටයුතු කිරීමත් කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේය. 

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කලේ ඊයේ (11) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. 

කෙසේවෙතත් මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතමයාගේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලය ලබා දීමට කටයුතු කළ ජනතාවටත් මාධ්‍යයටත් මෙහි වගකීම පැටවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව හඳුන්නෙත්ති මහතා කියාසිටියේය. 

''ආණ්ඩුව ජනතාවට සහන දෙනවා වෙනුවට ජනතාවට රෝගයේ වගකීම භාර දීලා ඒකෙ පීඩනය භාරදීලා අද මේ කොරෝනා රෝගය වසන්තයක් බවට පත්කරලා තිබෙනවා ආණ්ඩුවට හිතවත් ගජමිතුරු ව්‍යාපාරිකයින්ට. මේකෙනුත් හම්බකරගෙන කන්න පුළුවන් තත්ත්වයක්,ව්‍යාපාරයක් බවට පතක්රගන්න පුළුවන් ක්‍රමවේද සකස් කරමින් තිබෙනවා කියල අපිට පේනවා. වසංගතයේදී ජනතාවට සහනයක් කරනවා වෙනුවට ආණ්ඩුව දැන් කටයුතු කරමින් ඉන්න වගකීම් විරහිත ස්වභාවය අනුව පේන දේ තමයි මේක තමන්ගේ ගජමිත්‍රයින්ට ව්‍යාපාරයක් වසන්තයක් බවට පත්කරලා තිබෙනවා කියන දේ. මෙවැනි තත්ත්වයන් අපේ රටේ ඉතිහාසයේ සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා තමයි අපටත් ජනතාවටත් ඉතාම සාධාරණ සැකයන් මතුවෙන්නේ දැන් මේ රෝගය හම්බකරගෙන කන හිගන්නාගේ තුවාලය බවට පතක්රගත්ත තත්ත්වයකට ආණ්ඩුවේ වගකීම් විරහිතභාවය විසින් ඇතිකර තිබෙනවද කියන කාරණය.'' යනුවෙන් මෙහිදී හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය. 

මේ වන විට  ජනතාව කබලෙන් ලිපට වැටී තිබෙන අතර ජීවත් වීමට ක්‍රමවේදයක් නොමැති තත්ත්වයට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. 

''විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවලත් අර්ධ නාගරික ප්‍රදේශවලත් ජනතාවගේ ආදායම් මාර්ග විශාල ප්‍රමාණයක් ඇහිරිලා තිබෙනවා. ආර්ථිකය පවත්වාගෙන යමින් මේ රෝගය පාලනය කරනවා කිව්වට ආණ්ඩුව රෝගය පාලනය කරලත් නැහැ ආර්ථිකය පවත්වාගෙන යන ක්‍රියාවලියේදී ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන ආකාරයට කටයුතු කරන්නෙත් නැහැ.''  යනුවෙන් හෙතෙම වැඩිදුරටත් කරුණු දැක්වීය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 November 2020 14:17