May 06, 2024

ගෝඨාභය සර් කියන දේ තමයි චක්‍රලේඛනය

September 30, 2020

මේ වන විට රට ගමන් කරමින් තිබෙන්නේ සර් කියූ දේ චක‍්‍රලේඛයක් බවට පත්වන ඉතා භයානක තත්ත්වයකට යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

නීතියක් නොමැති චක‍්‍රලේඛ වලංගු නොමැති තැනකට රට පත්වෙමින් රටේ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවෙන් ගිලිහීමේ ඵලවිපාක ඉදිරියේදී ජනතාවට විඳීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.

සුනිල් හඳුන්නෙත්ති මහතා එම අදහස් පළකළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද සඳහන් කළේය.

ගැමි වහරේ තියෙනවා, ගෙඟ් මුහුදේ දැම්මත් ගාණක් මිම්මක් තියෙන්න ඕනෑ කියලා. මේකෙන් කියන්නේ මූල්‍ය පාලනය සම්බන්ධවයි. මේ ගැමි වහරේ තිබෙන යෙදුම රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ඉටු කරන්නේ රාජ්‍ය විගණන ක‍්‍රියාවලියෙන්. සමාජවාදී වේවා, ධනවාදී වේවා ඕනෑම ආර්ථික ක‍්‍රමයක් පවත්වාගෙන යන රටක මූල්‍ය පාලනය සම්බන්ධයෙන් සහාය දක්වන්නේ විගණන ක‍්‍රියාවලියෙන්. 20 වැනි සංශෝධනයෙන් කරන්නේ විගණකාධිපතිවරයා පත් කිරීමත් විගණන ක‍්‍රියාවලියත් සම්පූර්ණයෙන්ම දුර්වල කරලා පාර්ලිමේන්තුව සතුව තිබුණු මූල්‍ය පාලන බලය අහිමි කිරීම. ව්‍යවස්ථාවෙන් කොහොමද මූල්‍ය පාලනය කරන්නේ කියන එක ජනතාවට තේරෙන්නේ නැහැ. 1978 ඉඳලම මූල්‍ය පාලනය සම්බන්ධ බලය පාර්ලිමේන්තුවට තිබුණාද කියන ප‍්‍රශ්නයත් මතු වෙනවා. නමුත් ගාණක් මිම්මක් නැතුවම මූල්‍ය පාලන බලය ගෙඟ් මුහුදේ දාන්න 20වැනි සංශෝධනය තුළින් උත්සාහ කෙරෙනවා.

වාර්ෂික මූල්‍ය ප‍්‍රකාශනවලින් පෞද්ගලික ආයතනයක ලාභ අලාභ තත්ත්වය පිළිබඳව නිවැරදි තොරතුරු සපයන්නේ විගණනයෙන්. ආයතනයක් ලාභ වුණත් ඊට වඩා ලාභ ලබාගන්න තිබූ අවස්ථාවන් අහිමි වීම වගේ තත්ත්වයන් විගණනයෙන් දකින්න පුළුවන්. රජයටත් එහෙමයි. ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය වගේම නිලධාරීන් සංස්ථා සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ජනතාවගේ බදු මුදල්වලට සාධාරණය ඉෂ්ට කරල දෙන්නේ කොහොමද? මීට වඩා සාධාරණයක් ඉෂ්ට කරන්න ඉඩ තිබුණාද කියලා පැහැදිළි කෙරෙන්නේ විගණන වාර්තාවෙන්.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය යටතේ සමස්ත මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතුයි. ඒ වෙනුවෙන් වාර්තා සපයන්න බලය පවරලා තියෙන්නේ විගණකාධිපතිවරයාට. විගණන නිලධාරීන් හා සුපරීක්ෂකවරුන් විසින් කාලයෙන් කාලයට රාජ්‍ය ආයතන පරීක්ෂා කරලා කාර්තුමය වාර්තා, අර්ධ වාර්ෂික වාර්තා සහ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අන්න ඒ ගිණුම් වාර්තා මත පදනම්ව සවිස්තර වාර්තාවක් රාජ්‍ය ගිණුම් කාරක සභාවට සහ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරනවා. මෙම කාරක සභාවල සාමාජිකයන් විගණකාධිපතිවරයා සහ ඔහුගේ නිලධාරීන් කැඳවාගෙන මේ ගිණුම් වාර්තා සම්බන්ධයෙන් ලිහා බැලීමක් සවිස්තරාත්මකව කරනවා. රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම ඉෂ්ට කරන්නේ ඔය විදිහට.

විගණකාධිපතිවරයා පත්කිරීමේ ඉඳලාම ස්වාධීනත්වය අහෝසි කිරීම වගේම විගණනයට තිබෙන රාජ්‍ය ආයතන ඉවත් කිරීමෙන් පාර්ලිමේන්තුවට තිබුණු බලය අහිමි කිරීම 20වැනි සංශෝධනයෙන් සිදු කරනවා. විගණනය කියන්නේ එක් අංශයක් විතරක් නෙවෙයි. සංස්ථාවක, මණ්ඩලයක මූල්‍ය ප‍්‍රකාශන වගේම ඒ මූල්‍ය ප‍්‍රකාශන අදාළ ප‍්‍රමිතියට සකස් කර තිබෙනවාද කියන එක බලන්නෙත් විගණනයෙන්. මූල්‍ය ප‍්‍රකාශන හදපු පලියට පිළිගන්නේ නැහැ. අදාළ නිර්දේශය ලබා දෙන්නේ විගණකාධිපතිවරයා. සමහර වාර්තා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ මතය ඉදිරිපත් නොකර සිටීම කළ හැකියි. වාර්තා පිළිනොගැනීම තවත් බරපතළයි. ඒ වගේම ප‍්‍රතික්ෂේප කිරීම ඊටත් වඩා බරපතළයි. විගණකාධිපතිවරයා මූල්‍ය විගණනය සම්බන්ධයෙන් මේ ආකාරයෙන් පුළුල් වගකීමක් දරනවා.

ඊළඟට, කාර්ය සාධන විගණනය කියල එකක් තියෙනවා. මුදලට ලාභය පෙන්වා තිබුණත් සමස්ත ක‍්‍රියාවලිය නිසි පරිදි සිදුකර උපරිම ප‍්‍රතිලාභ ලබා තිබෙනවාද කියන එක පෙන්වන්නේ කාර්ය සාධනයෙන්. ඒ තුළින් සමස්ත ක‍්‍රියාවලිය විමර්ශනයට ලක් කරනවා. විගණනයෙන් තවත් එහාට ගිහිල්ලා මෑත කාලයේ අපේ රටේ ජනප‍්‍රිය වුණු වෝහාරික විගණනය කියන ? විමර්ශණයටත් ලක්කරනවා. හරියට වෛද්‍ය විද්‍යාවේ වෝහාරික පරීක්ෂණයක් කරනවා වගේ. අනෙක් පැත්තෙන් පාරිසරික විගණනය කියල දේකුත් තියෙනවා. ව්‍යාපෘතියක් වගේම සමස්ත පරිසරයට සිදුවන බලපෑම ගැනත් ඒ මගින් විමර්ශනය කරනවා. මේ විගණනයෙන් අර මෑතදී රජයේ ඇමැතිවරයෙක් කිව්වා වගේ අපිට ඔක්සිජන් ඕනෑ නෑ කියන තර්කවලට උත්තර ලැබෙනවා. ක‍්‍රීඩා පිටිය වෙන තැනකට ගෙනියලා ඔක්සිජන් නිෂ්පාදනය කරන පාරිසරික පද්ධතිය ආරක්ෂා කිරීමට නිර්දේශ කරන්නේ මේ විගණනයෙන්. මිනිසුන්ට වගේම සත්තුන්ට ජීවත් වීමේ අයිතිය ගැන කියන්නෙත් ඒ මගින්. තව පැත්තකින් පද්ධති විගණනය කියලත් තියෙනවා. උදාහරණයක් හැටියට අභ්‍යන්තර පාලන පද්ධතිය හෝ තොරතුරු පද්ධතිය නිසි ආකාරයෙන් පාලනය කෙරෙනවාද කියල බලන්නේ මේ විගණනයෙන්.

විගණකාධිපතිවරයා පත් කිරීම සහ විගණන නිලධාරීන් පත් කිරීම හිතුමතේ කරන්න බැහැ. 1995 අංක 15 දරන ශ‍්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන පනත මගින් වරලත් සුදුසුකම් සහිත විගණකයෙක් කියන්නේ කවුද කියලා නිර්දේශ ලබාදී තිබෙනවා. 19වැනි සංශෝධනයේ 153.1 යටතේ විගණකාධිපති ධූරයට පත්කරන කෙනා සුදුසුකම් ලත් විගණකවරයෙක් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ ජනාධිපතිවරයා විසින් පත්කළ යුතු බව සඳහන් වෙනවා මෙහිදී අවධාරණය කරන්නේ සුදුසුකම් ලත් විගණකවරයෙක් විගණකාධිපති වශයෙන් පත්කළ යුතු බවයි. නමුත් 20වැනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයා පත් කිරීමේ බලය ජනාධිපතිට ලබාදෙනවා වගේම ඔහු සුදුසුකම් ලත් පුද්ගලයෙක් විය යුතුයි කියන කොන්දේසිය අයින් කරලා. ජනාධිපතිවරයා කට වචනයෙන් පත්කරන පුද්ගලයෙක් සම්බන්ධයෙන් චක‍්‍රලේඛත් අවශ්‍ය නැති බවයි දැන් පේන්නේ. සර්කියුලර් වෙනුවට මේ දවස්වල ජනාධිපතිතුමා කියන විදිහට ”සර් කියූ දේ’’ සර්කියුලර් බවට පත්වෙනවා. ඒකට සුදුසුකම් ලත් පුද්ගලයන්ද නැද්ද යන්න අදාළ වෙන්නේ නැහැ. කර්නල් කෙනකුටත් විගණකාධිපති වෙන්න පුළුවන්. අද ගමන් කරමින් තියෙන්නේ සර් කියූ දේ චක‍්‍රලේඛයක් බවට පත්වන රටක් බවට.

මේ සියල්ල සකස් වෙන්නේ විගණන කොමිසමේ ක‍්‍රියාවලියෙන් එළියට ගිහිල්ලා නම්, නීතියක් නැති රටක් බවට පත් වෙනවා නම්, චක‍්‍රලේඛ වලංගු නැති තත්ත්වයට පත් වෙනවා නම් මූල්‍ය පාලනය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවෙන් ගැලවිලා සර් කියූ දේ බවට පත්වීම ඉතාම භයානකයි. එතකොට රටක් කොහේද යන්නේ? එතකොට කෝප් කමිටුව වැඩක් නැහැ. මේ සමස්ත ක‍්‍රියාවලියම ජනතාව තේරුම් ගන්න කියලා ඕනෑකමින් ඉල්ලනවා. පාර්ලිමේන්තුව මාධ්‍යයට විවෘත කළා. කෝප් කමිටුවත් විවෘත කළා. ආංශික කාරක සභා විවෘත කරන්න සාකච්ඡුාවක් තිබුණා. නීති අනපනත්වල බලය ශක්තිමත් කරන්න කෝප් කමිටුවට අධිකරණ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමේ සාකච්ඡුාවක් තිබුණා. ඉතා ඉක්මනින් නඩු දාන්න හැකි තත්ත්වයකට පෙළ ගස්වමින් තිබුණා. නමුත් සර්ට ඕනෑ කෙනෙක් විගණකාධිපති ලෙස පත් කළාම වරළත්

ගණකාධිකාරීවරුන්ට උගන්වන දේවල්, විශ්වවිද්‍යාලවල උගන්වන දේවල් වැඩක් නැති තත්ත්වයට පත් වෙනවා. සුදුසුකම් ලත් සියලූ දෙනා සර් කියූ අයට යටත් කෙරෙනවා. මේක බරපතළයි.

හොරකම් කරලා හැංගෙන්න පුළුවන් විදිහට විගණන කොමිසම අයින් කරලා, ප‍්‍රසම්පාදන කොමිසම අයින් කරලා සුදුසුකම් ලත් විගණකාධිපතිවරයෙක් පැත්තකට දාලා කරන්න සූදානම් වෙන්නේ මොකක්ද? 2/3ක බලයක් තියෙනවා කිව්වත් රටට මේ තරම් ව්‍යසනයක් කරන්න ආණ්ඩුවට බලයක් අපේ රටේ ජනතාව දීලා නැහැ. චක‍්‍රලේඛ කියන්නේ ජනාපතිතුමාගේ කටින් පිටවන වචන බවට පත් කරනවා කියලා ඡුන්දයට කලින් කිව්වේ නැහැ. නීතිය උඩ ලැගලා, ව්‍යවස්ථාව විනාශ කරලා පාර්ලිමේන්තුව ඒ ගොල්ලන්ගේ රූකඩ බවට පත් කරගන්න අපේ රටේ ජනතාව බලය දුන්නා කියලා මම හිතන්නේ නැහැ. රටේ ජනතාව දිනාගෙන තියෙන බලතල අහිමි කරමින් ජනාධිපතිතුමා කොහේ රිංගුවත් වැඩක් නැහැ. නාගරික සංවර්ධන අධිකාරියට, වෙනත් රාජ්‍ය ආයතනවලට වගේම අලි ගහපු නිවාස බලන්න මාධ්‍ය අරන් ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඒවා මීඩියා ෂෝ විතරයි.

Rate this item
(0 votes)