April 28, 2024

දුෂණ විරෝධී කමිටුව ගැන රනිල් කියන්නේ අමූලික බොරු - අනුර කුමාර

September 30, 2020

පසුගිය රජය යටතේ දූෂණ විරෝධී කමිටුව පිහිටුවන්නේ ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව බවට හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ ඇති සඳහන සම්පූර්ණ අසත්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හා ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

එසේම අනුර කුමාර දිසානායක මහතා කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවේ එම දූෂණ විරෝධි කමිටුව යටතේ පිහිටුවා තිබෙන ක්‍ෂණික ප‍්‍රතිචාර අනුකමිටුවේ සම්බන්ධීකාරක ලෙස තම නම සඳහන්ව තිබුණත් තමා එවැනි කමිටුවක් තිබෙන බවක් නොදැන සිටි බවය.

තමා සම්බන්ධීකරණය කළ සහ තමා නියෝජනය කළ එවැනි ක්‍ෂණික ප‍්‍රතිචාර කමිටුවක් නොතිබූ බවද අනුරකුමාර දිසානායක මහතා කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

එසේම තමා නියෝජනය කළ ජාතික විධායක සභාව තුළ කිසිම අවස්ථාවක දූෂණ විරෝධී කමිටුවක් පිහිටුවීම සඳහා අනුමැතියක් ලබා නොගත් බවද සාක්‍ෂිකරු කොමිසමට කියා සිටියේය.

ජාතික විධායක සභාව තුළ මේ කියන දූෂණ විරෝධී කමිටුව ගැන කුමන හෝ සාකච්ජාවක් වුණා ද යනුවෙන් අසන ලද ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් අනුර කුමාර දිසානායක මහතා කීවේ ඒ පිළිබඳව කිසිදු සාකච්ජාවක් ජාතික විධායක සභාව තුළ සිදු නොවූ බවයි.

පසුගිය රජය සමයේ පිහිටුවා තිබූ ජාතික විධායක සභාව තමා නියෝජනය කළ බව සාක්‍ෂිකරු පිළිගත් අතර එහෙත් 2015.04.10 දිනෙන් පසු එහි රැස්වීම්වලට තමා සහභාගි නොවූ බවද අනුර කුමාර දිසානායක මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් කීවේය.

Rate this item
(0 votes)