May 02, 2024

ඉතිහාසයේ පළමු වරට වාර්තා තබමින් රුපියල පහළ යයි

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (24) ඉතිහාසගත ලෙස පහළ ගියේය.
 
ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද 190.61 ලෙස සටහන්ව තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 190.61 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 185.93ක් ලෙසත් දැක්විණි.
 
ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.
 
ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක් මේ වනවිටත් කොරෝනා වයිරසයෙන් බලපෑමට ලක්ව ඇති ආර්ථික කටයුතු හා ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සහන පැකේජ ලබාදී ඇත.
 
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.8කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
 
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ ජාත්‍යන්තර බොරතෙල් මිල ගණන්වලට අනුව ‘බ්‍රෙන්ට්’ වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 27.82ක් ලෙසත් ඔපෙක් (තෙල් අපනයන කරන රටවල) වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 24.72ක් ලෙසත් දැක්විණි.

මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ අපහසුතාවයට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ මෙම සියලු සහන ඊයේ (23) සිට වහාම ක්‍රියාත්මක වන බවයි.

මෙම සහන ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම බැංකු, මූල්‍ය ආයතන හා කල්බදු ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර තිබේ.

අදාළ සියලූම සහන පහතින් දැක්වේ.

1) ආදායම් හා වැට් බදු, රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු රුපියල් 15,000 ට අඩු ජල, විදුලි බිල්පත්, වරිපනම් බදු, බැංකු චෙක්පත් වලංගු කාලසීමා, රුපියල් 50,000 ට අඩු මාසික ණයපත් (Credit Card) ගෙවීම් 2020 අප්‍රේල් මස 30 වන දින දක්වා දීර්ඝ කර ඇත.

2) ත්‍රිරෝද රථ හිමියන්ගෙන් ලීසිං ණය වාරික අය කරගැනීම මාස 06 කට අත්හිටුවීම.

3) රජයේ සේවකයින්ගේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික අයකිරීම් 2020 මැයි මස 30 වන දින දක්වා අත්හිටුවා තිබේ.

4) බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති රුපියල් ලක්ෂ 10 ට අඩු පෞද්ගලික ණය අයකරගැනීම මාස 03 කට අත්හිටුවා ඇත.

5) රැකියා සඳහා තෝරාගත් උපාධිධාරීන්ගේ, මාර්තු මස අභ්‍යාසලාභී දීමනාව වන රුපියල් 20,000 ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කෙරේ.

6) කොරෝනා වෛරසය මර්දනයේ නිරත සෞඛ්‍ය, පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු රජයේ සේවකයින් සඳහා වන අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ දෙගුණයකින් වැඩි කෙරේ.

7) සංචාරක, ඇගළුම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මාස 06 ක ණය සහන කාලයක් (DEBT MORATORIUM) ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකා මහ බැංකුව එම මුදල් ප්‍රතිමූල්‍ය කිරීම.

8) ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ඒකාබද්ධව භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් වල මුදල් ආයෝජනය කිරීමේදී, එමගින් මුදල් වෙළඳපොළ 7% ක පොළී අනුපාතය යටතේ ස්ථාවර කිරීම.

9) මාසික ණය මුදල රුපියල් 50,000 දක්වා වන දේශීය ගණුදෙනු සඳහා භාවිත ණයපත් (Credit Card) සඳහා ණය පොළී අනුපාතය 15% ක උපරිමයකට යටත් කිරීම හා අවම මාසික අයකිරීම 50% කින් අඩුකිරීම.

10) ඇඳිරි නීතිය නැති අවස්ථාවල සියලුම බැංකු ශාඛා ගණුදෙනුකරුවන්ට උපරිම සේවාවක් සැලසෙන පරිදි විවෘතව තැබීම.

11) ශ්‍රී ලංකා වරාය, රේගුව හා සෙසු නියාමන ආයතන අත්‍යාවශ්‍ය ආහාර, පොහොර, ඖෂධ සහ ඉන්ධන අඛණ්ඩව අදාළ පුද්ගලයින්ට නිකුත් කළ යුතුය.

12) සමෘද්ධිලාභීන් හා සමෘද්ධි කාඩ්පත් හිමියන් සඳහා රුපියල් 10,000 ක පොළී රහිත අත්තිකාරම් මුදලක් සියලුම සමෘද්ධි බැංකු සංගම් මගින් ලබාදීම.

13) ලංකා සතොස හා සමූපකාර වෙළෙඳසැල් වැට් බදු හා වෙනත් ප්‍රාදේශීය බදු හා ගාස්තු වලින් නිදහස් කිරීම.

14) අඩු ආදායම්ලාභීන් සඳහා පෝෂණ ආහාර ද්‍රව්‍ය නිකුත් කිරීම වෙනුවෙන් සමෘද්ධි අධිකාරිය සමෘද්ධි හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා හිමිකම් සහතික පත් වහාම නිකුත් කළ යුතුය. එම පවුල්වලට වැඩිහිටියන්ට හා අඩු ආදායම්ලාභීන්ට සහල්, පරිප්පු, ලූණු ආහාර හිමිකම් සහතික පත් (Food Card) මඟින් සතිපතා ලබා දිය යුතුය.

15) COVID – 19 වෛරසය පැතිර යාම වැළැක්වීමට හා අදාළ සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ කටයුතුවලට සහන සැලසීමට ජනාධිපති අරමුදලේ විශේෂ ගිණුමක් ලංකා බැංකුවේ විවෘත කර ඇත. ඒ සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100 ක් තැන්පත් කර තිබේ. සියලු දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ට ඊට දායක වීම සඳහා බදු හා විදේශ විනිමය පාලන සීමා ඉවත් කර ඇත.

16) SAARC රටවල කොරෝනා අරමුදලට ශ්‍රී ලංකා රජයෙන් ඇ. ඩො. මිලියන 05 ක් වෙන්කිරීම.

මේ තීරණ වහාම ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිතුමාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා අදාළ නිලධාරීන්ට නියම කර ඇත.

Rate this item
(1 Vote)