May 02, 2024

අනුරාධපුර බන්ධනාගාරට තවමත් STF ආරක්ෂාව

අනුරාධපුර බන්ධනාගාරයේ දේපල විනාශ කරමින් බන්ධනාගාර රැඳවූවන් ඊයේ (21) පස්වරුවේ ඇති කළ නොසන්සුන්තාවය අතරතුර සිදුවූ වෙඩි තැබීමෙන් රැඳවූවන් දෙදෙනෙකු මියගොස් තවත් රැඳවූවන් 06 දෙනෙකු තුවාල ලැබුවේය.

පොලිසිය පැවසුවේ, රැඳවූවන් ඇති කළ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීමක් සිදුකළ බවයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස බන්ධනාගාරගත රැඳවූවන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට ලබා දී තිබූ අවසරය පසුගියදා තාවකාලිකව ඉවත් කෙරුණි.

ඊට විරෝධය පළකරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවූවන් 600ක් පමණ ඊයේ පස්වරුවේ ගෑස් සිලින්ඩරයක් යොදා ගෙන බන්ධනාගාර ප්‍රධාන දොරටුවට ගිනි තබා පලා යෑමට උත්සහ කර තිබුණි.

එහිදී ඇති වූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සහ ආරක්ෂාව වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය.

එහිදී තුවාල ලැබූ රැඳවූවන් 8 දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී රැඳවූවන් දෙදෙනෙකු මිය ගියේය.

අනෙක් රැඳවූවන් 6දෙනා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර බන්ධනාගාර පරිශ්‍රයේ හටගත් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් නිලධාරීන් සිය ආරක්ෂාව වෙනුවෙන් පොලිසියේ සහය ඉල්ලා තිබුණි.

එමෙන්ම පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාවද එහි කැඳවනු ලැබුවේය.

අනතුරුව පොලිස් කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර පිරිස පාලනය කළ අතර, රැඳවූවන් නැවත වාට්ටු තුළට යොමුකිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගනු ලැබුවේය.

සිද්ධිය අතරතුර කිසිදු රැඳවූවෙකුට බන්ධනාගාරයෙන් පලා යෑමට හැකියාව ලැබී නැත.

ඒ අතර බන්ධනාගාරයට පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා තිබේ.

Rate this item
(0 votes)