April 27, 2024

පවුලේ විරෝධය මැද ඇඹිලිපිටියේ සිරුර ගොඩගනී

ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ සිරුර ගොඩගෙන දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතාට සහ ඔහු නම් කරන තවත් අධිකරණ වෛද්‍ය විශේෂඥයන් දෙදෙනකුට පවරමින් ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර නියෝගයක් නිකුත්කර තිබේ.

අධිකරණ වෛද්‍ය මණ්ඩලයේ අවසර ලැබෙන්නේනම් සැකකාර සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න මහතාට සහ අගතියට පත් පාර්ශවයේ නෑයන්ට පශ්චාත් මරණ පරීක්ෂණය නිරීක්ෂණය කළ හැකි බව මහේස්ත්‍රාත්වරයා තම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් වැඩිදුරටත් ප්‍රකාශකළ බව වාර්තා වේ.

යුක්තිය පසිඳලීම සඳහා දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණයක් අවශ්‍ය බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද ප්‍රකාශ කොට ඇත.

නමුත් සුමිත් ප්‍රසන්නගේ බිරිය වන ශෂිකා නිශාමනී මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් මෙම තීන්දුවට විරුද්ධ වී ඇති අතර දිවුරුම් පෙත්සම් හෝ සාක්ෂි ලබා නොදෙන බවට ඔවුන් අධිකරණයට දැනුම් දී තිබේ.

පවුලේ ඥාතීන් විරෝධය පළ කළ ද සිරුර යළි ගොඩගැනීමට නියම කිරීමේ බලතල මහේස්ත්‍රාත්ට ඇතැයි නීතිපති වෙනුවෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා ප්‍රකාශකර ඇති අතර ඒ අනුව ලබන මාර්තු 10 වැනිදා දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 03 March 2016 16:10