May 20, 2024

'කිසිවෙකු 119 අමතා නැහැ' - ඇඹිලිපිටි සිද්ධියේ නව තොරතුරු හෙළිවෙයි

ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර ඇතිවූ ගැටුමකින් පසු උඩු මහළෙන් වැටී මිය ගිය බව කියන සුමිත් ප්‍රසන්න ජයවර්ධන නමැත්තාගේ මරණය සම්බන්ධයෙන්පොලිසිය පළමුව කර ඇතැයි කියන ප්‍රකාශ පරස්පර විරෝධී බව අභ්‍යන්තර පරීක්ෂණයකින් සොයා ගෙන ඇතැයි වාර්තා වේ.

පොලිසිය එම නිවසට දෙවරක් ගිය බවටත් මහජනයාගෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු පැමිණිලි අනුව එහි ගිය බවටත් පොලිසියට පහර දුන් බවටත් පොලිසිය මුලින් කළ ප්‍රකාශ මෙම අභ්‍යන්තර පරීක්ෂණය නිසා තදබල ලෙස බිඳ වැටී ඇතැයි ද වාර්තා වේ.

ඇඹිලිපිටි පොලිසිය මුලින්ම එහි ගොස් ඇත්තේ පසුගිය 04 වැනිදා රාත්‍රී 11.40 ට බවත් මැදියම් රැය පසුවී 12.04 ට සාදයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් එහි ගිය පොලිස් සැරයන්වරයකු දෙවැනි ප්‍රකාශයෙන් කියා ඇතැයි එම අභ්‍යන්තර පරීක්ෂණයෙන් සොයාගෙන තිබේ.

නමුත් පොලිසියේ උසස් නිලධරයකුගේ අණක් අනුව එම පොලිස් නිළධාරීන් හතරදෙනා එහි යවා ඇති බව පෙනන බවත් පොලිසියට පහර දුන්නා යැයි කියන කථාවේ සත්‍යතාවයක් නැති බවත් පෙනෙන බව එම අභ්‍යන්තර තොරතුරු ප්‍රකාශ කරයි.

පසුගිය 05 වැනිදා අලුයම 12.14 ට පමණ එහි සිටි පොලිස් නිලධරයකුගෙන් පොලිසියට ඇමතුමක් ලැබී ඇතැයි ද ඒ අනුව අතිරේක පිරිස් යවා ඇත්තේ ඉන් පසුව යැයි ද මේ වනවිට සොයාගෙන තිබේ.

සාදය නිසා තමන්ට හිරිහැර වන බවට පිටස්තර කිසිවකු පොලිසියට ඇමතුමක් දී නැති බවත් පොලිසියේ දෙදෙනකු පමණක් පොලිසියට එවැනි ඇමතුම් දී ඇති බවත් මෙම පරීක්ෂණයෙන් සොයාගත් බව ද වාර්තා වන අතර මෙම අලුත් තොරතුරු රජයේ නීතිපතිට ඉදිරිපත් කර උපදෙස් ලබාගැනීමට ද නියමිතය.

 

 

Rate this item
(0 votes)