May 18, 2024

ඇඹිලිපිටිය මියගිය තරුණයාගේ බිරිය පොලීසියට කළ සම්පුර්ණ ප්‍රකාශය (VIDEO)

ඇඹිලිපිටිය පොලිසිය සහ  ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ වන ශෂිකා නිශාමනී මුණසිංහ මහත්මිය ඊයේ (13) නීතිඥයකු මාර්ගයෙන් ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියට ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කළාය.

අදාල සිදුවීම සම්බන්ධව පසුගිය අඟහරුවාදා (05) සවස රත්නපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී තමන් විසින් ලබා දුන් පැමිණීල්ල නිසිලෙස සටහන් කරගත්තේදැයි තමන්ට ඇතිවූ සැකය හේතුවෙන් දෙවැනි වරටත් පැමිණිල්ලක් සිදු කළ බව ශෂිකා නිශාමනී මහත්මිය සඳහන් කරයි.

නැවත වරක් පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ දී ඇය මෙසේ ද ප්‍රකාශකර සිටියාය.

‘‘අදාල දිනයේදී මා නියෝජ්‍ය පොලිස්පති හමුවීමට ගියත් නියෝජ්‍ය පොලිස්පතිතුමා කාර්යාලයේ හිටියේ නැහැ. කාර්යාලයේ සිටි පොලිස් නිලධාරියකු පැමිණිල්ල සටහන් කරගැනීමට අදාල ස්ථානයට යොමුකළා. ඒ අවස්ථාවේදී පැමිණිල්ල ලියාගත් නිලධාරියා මා අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කළා. ඔහු ඇහැවා ඇයි මෙතෙනට ආවේ කියා. මා කියා සිටියේ ඇඹිලිපිටිය පොලිසියෙන් මගේ මහත්තයා උඩ තට්ටුවකින් තල්ලු කරා ඒ ගැන පැමිණිලි කරන්න ආවේ කියලයි. එම පොලිස් නිලධාරියා මගෙන් ඇහුවා මේ සිද්ධියේ බරපතලකම මා දන්නවද කියා. ඔය කරන්නේ ලොකු වරදක් ඔයාට මේ ගැන කරදර වෙන්න වෙයි කිව්වා. ඔයාගේ මහත්තයා අපරාධකාරයෙක්. එයා රෝහලෙන් ගිය පසු අනිවාර්යයෙන් අත්අඩංගුවට ගනී. ඔයා දන්නවද මේ වෙන කොට පොලිසියේ හතරක් රෝහල් ගත කර සිටි බව කියා ඔහු ඇහුවා.

මා එවිට එම නිලධාරියාගෙන් අසා සිටියා මගේ මහත්තයාට තරම් බරපතල තුවාලයක් මේ නිලධාරින්ට නෑ නේද කියලා. ඊට පස්සේ පොලිස් නිලධාරියා  කිව්වා 119 වලින් අපට දුරකථන ඇමතුම් ආවා ඒවායින් ඇත්ත සිද්ධිය කිව්වා ඔයා බොරු කියන්න එපා කියලා.

මා පැමිණිල්ල සටහන් කරගත් පොලිස් නිලධාරියාට කිව්වා මට බබෙක් ලැබෙන්න ඉන්නවා මට අමාරුයි කියලා. ඔහු කියා සිටියා ඇයි අමාරුනම් මෙහේ ආවේ කියලා. විනාඩි පහෙන් හයෙන් යන්න ආවානම් ඇයි මෙතෙනෙට ආවේ මෙතෙන සෙල්ලම් කරන තැනක් නෙමෙයි කිව්වා. මේ නිලධාරින් සිවිල් ඇදුමෙන් ආවානම් ඒස්පිමයි කියලා ඔයා දන්නේ කොහොමද ඇහුවා. ඒඑස්පී මහත්තයි මූලස්ථාන පොලිස් පරීක්ෂකයි දුවගේ පාසලට ආව රැස්වීමකදී දැකලා තියෙනවා කියා කිව්වා. ඒ හිටපු මහත්තයා තමයි මගේ මහත්තයාව ඇදගෙන ගිහින් තල්ලු කළේ කිව්වා. එතකොට මේ නිලධාරියා ඇහුවා මගේ මහත්තයා ඇදගෙන යන්නේ කකුල් දෙක පණ නැතුවද කියලා. ඒඑස්පී මහත්තයා මේ හරියට එක්කගෙන ආවොත් ඔයාට ඔය ටික ඔය විදියටම කියන්න පුළුවන්ද කියා ඇසූවිට මා කිව්වා කියන්න පුළුවන් බව.

පැමිණිල්ල සටහන් කර ගන්නා අතර තුර එම ස්ථානයට මගේ අම්මා ආවා. ඒ වෙලාවේ එම නිලධාරියා අම්මාගෙන් ඇහුවා ඇයි මෙතනට ආවේ ඇයි කියලා. අම්මා කිව්වා මගේ දුවට බබෙක් හම්බවෙන්න ඉන්නවා එයාගේ මහත්තයාටත් අමාරුයි දැන් මෙයාගේ මානසිකත්වයත් හොද නෑ කියා කිව්වා. එතකොට ඒ පොලිස් නිලධාරියා අම්මට කිව්වා දුවට සිහිකල්පනාවක් තියෙන වෙලාවට එක්කන් එන්න කියලා.

පැමිල්ල සටහන් කරගෙන මගෙන් අත්සන් කරගත්තා ඒකේ ලියපුවා මට කිව්වේ නෑ. බදාදා මට දුරකථන ඇමතුමක් ලැබුණා නියෝජ්‍ය පොලිස්පතිගෙන්. ඔවුන් මට කතා කරලා ඇහුවා ඇඹිලිපිටියෙද ඉන්නේ කියා. මා කිව්වා මම ඉන්නේ පැල්මඩුල්ල නිවසේ බව. පසුව පැල්මඩුල්ල නිවසට පොලිසියෙන් ආවා. ඇවිත් පැමිණිල්ලක් සටහන් කර ගත්තා. මේක කියවන්න ගොඩක් වෙලා යන නිසා මේක ඔයා ලියන විදිය බලාගෙන ඉන්න කියලා මට කිව්වා. ඒ ලියපු අකුරු කිසිවක් මට කියවන්න පැහැදිලි නෑ. සටහන් කර ගත් පැමීණිලි දෙකේම මා කියා සිටියේ එස් එස් පී මගේ මහත්තයා තල්ලු කරා කියන එකයි. හැබැයි එය ලිව්වද කියන එක මට විශ්වාසයක් නෑ.

ඒ නිසයි මා මේ පැමිණිල්ල අද ඉදිරිපත් කළේ. මේ පැමිණිල්ලේ පිටපතක් මා පොලිස්පති තුමාට නීතිඥයකු මාර්ගයෙන් ඉදිරිපත් කරනවා. මේකට සාධාරණයක් ඉටු කරන්න යැයි මා ඉල්ලා සිටිනවා."

වීඩියෝව පහතින්.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 January 2016 11:30