May 03, 2024

රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කරන්න බැහැ - බැසිල්

එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමට නොහැකි බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

වර්තමාන දේශපාලන තත්වය හා රාජපක්ෂ පාලනය බිඳ වැටීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ රාජපක්ෂ පාලනය බිඳ වැටී වසරක් ගත වීමත් සමඟ බීබීසී සංදේශයත් සමග සාකච්ඡාවකට එක් වෙමින්.
 
"රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කරන්න පුළුවන් ජනතාවට විතරයි. මහින්ද රාජපක්ෂ කියන්නේ සටන් කරලා ඉදිරියට ආපු නායකයෙක්. එතුමා රහස් කුමන්ත්‍රණ කරළා ඉදිරියට ආපු නායකයෙක් නෙවෙයි" යනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියි.
 
රාජපක්ෂ පාලනය අවසන් වී වසරක් ගත වන මේ මොහොතේ රට පත් වී ඇති තත්වය ගැන තමා ඉතා කණගාටු වන බව ප්‍රකාශ කළ හිටපු අමාත්‍යවරයා රාජපක්ෂ පාලනය තුළ ගෙන ගිය සංවර්ධන වැඩසටහන් සියල්ල අද අඩාල වී ඇති බවයි සඳහන් කළේ.
 
"මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට ගෙනාපු එක හරිද වැරදිද කියලා ජනතාව කල්පනා කරලා බලයි මේ වසරක් ගත වෙන මොහොතේ. එදා කෙසේ වෙතත් අද කල්පනා කරද්දී බලන්න පුළුවන් මොන තරම් වෙනසක් සිදු වෙලාද කියලා" ඔහු පැවසුවේ ය.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ පරාජයට ඔහු වගකිව යුතු බවට එල්ල කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කළ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා එදා පරාජයට ආණ්ඩුවේ ඇතැම් අඩුපාඩු මෙන් ම ජාත්‍යන්තර රටවල් කීපයක බලපෑම් හේතු වූ බවත් සඳහන් කළේය.

"හරි හෝ වැරදි හේතු මත එක්ක ලෝකයේ බලවත් රටවල් අපිත් එක්ක තරහ වුනා, විශේෂයෙන් ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා හවුල වගේ ප්‍රබල රටවල් රාශියක් අපට විරුද්ධ වුනා. ජාත්‍යන්තර වශයෙන් කරන බලපෑම් වලට අමතරව දේශීය වශයෙනුත් ඔවුන් බලපෑම් කළා. ඡන්දෙ දි ඔවුන් බලපෑම් කළා, ඒක නැහැ කියන්න බැහැ. ඇමරිකාවේ වාර්ෂික වාර්තාවක පවා කියල තියෙනවා මේක තමන් ලද ජයග්‍රහණයක් කියලා"
 
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණට අයත් කණ්ඩායම් වර්තමාන දේශපාලනය ගැන කලකිරී සිටින බව ප්‍රකාශ කරන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සියළු දෙනාට එක් විය හැකි නව දේශපාලන ධාරාවක උවමනාව දැන් මතු ව ඇති බවයි අවධාරණය කළේ.
 
එවන් බලවේගයක් ගොඩනැගීම පිටුපස ඔහුත් සිටිනවා දැයි බීබීසිය විමසූ විට බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කියා සිටියේ තමන්ට එවැනි බලාපොරොත්තුවක් නොමැති නමුත් එවන් බලවේගයක් ගොඩ නැගුන විට ඊට තම දායකත්වය සපයන බවයි.
 
රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකාව තුළ නැවත බලයට පැමිණිය හැකි වේදැයි බීබීසිය ප්‍රශ්නයක් යොමු කළ විට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ‘ඒ තීරණය ජනතාව මහජනතාවට බාර දෙන’ බවයි.
Rate this item
(0 votes)
Last modified on Friday, 08 January 2016 10:32