May 03, 2024

ස්ත්‍රී දූෂණ, ඝාතන හා අතුරුදන්වීම් ගැන පැමිණිලි 5000ක් අගමැති කාර්යාලයට

September 12, 2015

රට පුරා සිදුවූ මිනිමැරුම්, ස්‌ත්‍රී දූෂණ සහ අතුරුදන්වීම් පිළිබඳ සවිස්‌තරාත්මක තොරතුරු සමග පැමිණිලි පන්දහසකට ආසන්න සංඛ්‍යාවක්‌ මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්‌ථාපිත කර ඇති මහජන පැමිණිලි අංශය වෙත ලැබී ඇති බව වාර්තා වේ.

මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර පැමිණිලිකරුවන් අතර ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මෙන්ම පොලිස්‌ නිලධාරීහු ද සිටින බව පැවසෙන අතර නාමිකව මෙන්ම නිර්නාමිකවද මේවා යොමු කර තිබෙන බව සඳහන් වේ.

තම පැමිණිලි සම්බන්ධයෙන් සාර්ථකව පරීක්‍ෂණ පවත්වන්නේ නම් ප්‍රසිද්ධියේ අදාළ තොරතුරු මෙන්ම එම අපරාධයන් සිදු කරන අන්දම පටිගත කළ වීඩියෝ පටද ඉදිරිපත් කළ හැකි බව ඇතැම් පැමිණිලිකරුවෝ ප්‍රකාශ කර ඇති අතර අනුරාධපුර නගරයේදී 2013 සැප්තැම්බර් 13 දා සුදු පැහැති වෑන් රියකින් පැහැරගත් බව කියන මධුෂ්ක ද සිල්වා නමැති ව්‍යාපාරිකයා සහ තවත් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදී එක්‌ අයකු ගිනි තබා පුලුස්‌සා දැමූ අයුරු වීඩියෝ පටද සමගින් ඉදිරිපත් කළ හැකි බව පැමිණිලිකරුවන් සිය පැමිණිලිවල සඳහන් කර ඇත.

එමෙන්ම ගුවන් නියමු පුහුණුව සඳහා මිහින් ලංකා ගුවන් සමාගම විසින් විශ්‍රාමික පොලිස්‌ සැරයන්වරයකුගේ මුණුබුරකුගෙන් රුපියල් ලක්‍ෂ පනස්‌ ගණනකට අධික මුදලක්‌ ලබාගෙන නිසි පුහුණුවක්‌ ලබා නොදීම පිළිබඳ පැමිණිල්ලක්‌ ද ලැබී ඇති අතර එක ගමකට එක වැඩක්‌, පළාත් නැගුම යන තේමාවන් ඔස්‌සේ පසුගිය කාලයේ කළ සංවර්ධන වැඩ වෙනුවෙන් තමන්ට මෙතෙක්‌ රුපියල් කෝටි ගණනක මුදලක්‌ ගෙවා නැතැයි ද පවසමින් කොන්ත්‍රාත්කරුවන් පිරිසක්‌ ද පැමිණිලි කර ඇති බව සඳහන් වේ.

මෙම පැමිණිලි සියල්ල පොලිස්‌පතිවරයා ඇතුළු අදාළ අංශ වෙත ඉදිරිපත් කර පරීක්‍ෂණ පැවැත්වීම සඳහා කටයුතු කරන බව වාර්තා වේ.

Rate this item
(0 votes)