May 17, 2024

ISIS සිතියමට ශ්‍රී ලංකාවත් ඇතුලත්ව ඇති බව හෙළි වේ (PHOTOS)

ලොව බිහිවුණ ක්‍රෑරතම ත්‍රස්තවාදී සංවිධානයක් වන ISIS නොහොත් "ඉස්ලාමීය රාජ්‍යය" සංවිධානය, ඉදිරි වසර පහක කාලය ඇතුලත ලෝක වපසරියෙන් විශාල කොටසක් අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති බව දැක්වෙන සිතියමක් BBC ලෝක සේවයේ වාර්තාකරුවෙකු වන Andrew Hosken විසින් හෙළිදරව් කර තිබේ.

එමෙන්ම 2020 වන විට යටත් කරගන්නා භූමි ප්‍රදේශය දැක්වෙන එම සිතියමට ශ්‍රී ලංකාව ද ඇතුලත් වී ඇත‍.

Andrew Hosken විසින් ලියූ "භීතියේ අධිරාජ්‍යය - ඉස්ලාමීය රාජ්‍යයේ ඇතුලාන්තය" (Empire of Fear: Inside the Islamic State) නමැති ඔහුගේ නවතම ග්‍රන්ථයෙහි මෙම බිහිසුණු ත්‍රස්ත සංවිධානයෙහි සම්භවය, ඔවුන්ගේ අරමුණු සහ ඔවුන් දැනට අත්පත් කරගෙන සිටින ස්ථානය ආදිය පිළිබඳ සවිස්තරාත්මකව වාර්තා කර ඇති අතර 2020 වන විට ඔවුන් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන භූමි ප්‍රදේශය දැක්වෙන සිතියම ද අන්තර්ගත කර තිබේ.

මෙම සිතියමට අනුව ISIS ත්‍රස්තවාදීන් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන අති විශාල බිම්කොටසට දක්ෂිණ යුරෝපය ද අප්‍රිකාවේ විශාල කොටසක් ද මධ්‍යම හා දකුණු ආසියාව ද ඇතුලත් වේ.

ISIS සංවිධානය, ඔවුන් වෙන් කර පෙන්වා ඇති බිම් ප්‍රමාණයට ඇතුලත් වන රටවල් කිහිපයකම දැනටමත් ප්‍රහාර දියත් කරමින් එම රාජ්‍යයන් අඩපණ කිරීම ආරම්භ කර ඇති බව පෙන්වා දෙන Andrew Hosken වැඩිදුරටත් විස්තර කරන්නේ ඔවුන් විසින් ලිබියාවේ සහ සෞදි අරාබියේ සිදු කළ ප්‍රහාරයන් මෙන්ම සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුකරමින් පසුගිය දා ටියුනීසියාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය ද ඊට සාක්ෂි සපයන බව යි. එමෙන්ම ISIS ත්‍රස්තවාදීන් දැනටමත් ඇෆ්ගනිස්ථානය දක්වා ව්‍යාප්ත වී ඇති බව ද Andrew Hosken සඳහන් කර ඇත.

මෙවන් පසුබිමක් තුළ පසුගිය දා සිරියාවේ දී ප්‍රහාරයකට ලක්ව ලාංකික ISIS ත්‍රස්තවාදියෙකු මියයාමේ සිදුවීමක් ද වාර්තා වීම මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බව සපථ කරන්නකි.

ශ්‍රී ලංකාව තුළ ISIS සංවිධානය ක්‍රියාත්මක වීමේ අවධානමක් ඇත්දැයි සිදු කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්ත උවදුරු පිළිබඳව පොලිස් සහ බුද්ධි අංශ නිළධාරීන් නිරන්තර අවධානයෙන් සිටින බවත්, එවැන්නක් පිළිබඳ ක්‍රියාත්මක වීම සඳහා පොලීසිය සහ ආරක්ෂක අංශ සීරුවෙන් සිටින බවත් ය.

පහතින් දැක්වෙන්නේ ISIS සංවිධානය විසින් 2020 දී අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වේ යැයි පැවසෙන භූමි කොටස සහ රටවල් මොනවා දැයි දැක්වෙන සිතියම් දෙකකි.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 11 August 2015 09:44