May 20, 2024

ගොම සහ ගව මූත්‍රා අනුභවයෙන් කොරෝනා මරන්න යන ඉන්දියාව

ඉන්දියාවේ “මධ්‍ය ප්‍රදේශ්” ප්‍රාන්තයේ සංස්කෘතික අමාත්‍යවරියවන ඌෂා ටාකූර් විසින් සිදු කර ඇති ප්‍රකාශයක් මේවන විට ලෝක මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනයක් මවා තිබෙනවා. ගවයින්ගේ අසූචි හෙවත් ගොම සහ ගව මූත්‍රා යොදාගෙන කොවිඩ් 19 වසංගතය පාලනය කළ හැකි බවට යි ඇය පවසා ඇත්තේ.

ඇය වැඩිදුරටත් ජනතාව වෙත උපදෙස් දී ඇත්තේ නිවස තුළ ගොම පිළිස්සීමෙන් හටගන්නා දුම මගින් කොවිඩ් 19 වෛරසය තුරන්වන බවට යි. එක් වරක් ගොම පිළිස්සූ පසු නිවස පැය 12ක කාලයකට පිරිසිදු තත්ත්වයට පත්වන බව ඇය ප්‍රකාශ කොට තිබෙනවා. ඇය පෙන්වා දෙන්නේ පැරණි ඉන්දීය වේද ග්‍රන්ථ තුළ මෙවන් පිළිවෙත් පවතින බවයි.

මධ්‍ය ප්‍රදේශ්  සංස්කෘතික අමාත්‍යවරිය පමණක් නොව, “උත්තර් ප්‍රදේශ්” ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු ද වන සුරේන්ද්‍ර සිං පවසන්නේ ගව මූත්‍රවලට කොවිඩ් 19 වෛරසය මර්ධනය කළ හැකි බවයි.

ඔහු එම ප්‍රකාශය වීඩියෝවක් මගින් සමාජ ජාල වෙත ද එක් කර තිබෙන අතර එම වීඩියෝවෙහි ඔහු මෙලෙස පවසනවා.

“ඔබ සෑම උදෑසනම ගව මූත්‍ර මිලි ලීටර 50ක් හිස් බඩ පානය කරමින් දිනකට 10 වරක් කහ අනුභව කළහොත්, කොරෝනා තුරන් වී යන බවට ඒකාන්තයි”

ඌෂා ටාකූර් සහ සුරේන්ද්‍ර සිං යන දෙදෙනාම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයින් වීම විශේෂත්වයක්. වසංගත තත්ත්වය හමුවේ භාරතීය ජනතා පක්ෂ පාලනය, ගත යුතු නිසි පියවර නොගැනීමෙන් ඉන්දියාව තුළ මෙතරම් විනාශයක් සිදුව ඇති බවටයි එරට ජනතාව මෙන්ම විදෙස් විචාරකයින් ද චෝදනා කරන්නේ.

ඉන්දියාවේ හින්දු බහුතරය තුළ ගවයා යනු ශුද්ධ වූ සංස්කෘතික සංකේතයක්වන අතර ගව මූත්‍ර පානය කිරීමට පවා ඇතැම් නූගත් සාම්ප්‍රදායික ඉන්දියානුවන් අතීතයේ සිටම පෙළඹී තිබෙනවා. එහෙත් වර්තමානයවන විට එවැනි සාම්ප්‍රදායික පිළිවෙත් සමාජයෙන් ටිකෙන් ටික තුරන් වුවත්, කොවිඩ් 19 වසංගතය ඉන්දියාව තුළ දරුණු ලෙස පැතිරීමත් සමග ග්‍රාමීය පළාත් තුළ ගව මූත්‍ර පානය කිරීම වැනි පිළිවෙත් යළි හිස ඔසවා ඇති බව වාර්තා වෙනවා. කොවිඩ් 19 වෛරසයෙන් බේරීමේ උපක්‍රමයක් ලෙස ගැමි ජනතාව මෙවන් පිළිවෙත් අනුගමනය කරන බවයි පුවත් වාර්තා සඳහන් කරන්නේ.

ඇතැම් පිරිස් කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිකාරයක් ලෙස ගොම සහ ගව මූත්‍රා එක් කොට සාදාගන්නා ද්‍රාවණයෙන් ස්නානය කරන බව ද වාර්තා වෙනවා. “ගුජරාට්” ප්‍රාන්තයේ එක්තරා ගම්මානයකින් වාර්තාවන තවත් පුවතක දැක්වෙන්නේ ගැමියන් ගව මූත්‍රා ස්නානය කොට එය වියැලෙන්නට හැරීමෙන් අනතුරුව එළ කිරි ස්නානය කර ඇති බවයි.

දේශපාලනඥයන් වැනි සමාජයේ පිළිගත් චරිත ඉහත ආකාරයේ උපදෙස් ලබා දීම මගින් එවැනි ක්‍රියා ඉහළ ගොස් ඇති බව ද පැවසෙනවා.

මේ අතර ඉන්දියාවේ බටහිර වෛද්‍යවරුන් මෙම පිළිවෙත් දැඩි ලෙස හෙළා දකිමින් සඳහන් කරන්නේ මෙවන් ක්‍රියා තුළින් කොවිඩ් 19 නොව, වෙනත් දරුණු ලෙඩ රෝග හටගත හැකි බවයි. විශේෂයෙන් ගවයින් තුළ පවතින ලෙඩ රෝග මිනිසුන්ට වැළඳීමේ දැඩි අවධානමක් මේ හරහා නිර්මාණය වන බව ඔවුන් පවසනවා.

එමෙන්ම ගොම සහ ගව මූත්‍රා ආලේප කරගැනීමෙන් චර්ම රෝග වැළඳීමේ ප්‍රවණතාවක් ද පවතින බව නවදිල්ලියේ ශ්‍රී බාලාජි වෛද්‍යායතනයේ ඡ්‍යෙශ්ඨ උපදේශක වෛද්‍ය විජේ සිංඝාල් අනතුරු අඟවනවා. සංවේදී සමක් සහිත පුද්ගලයින්ට මෙය දැඩි අවදානම් සහගත තත්ත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. සිය රටෙහි ජනතාව පිළිබඳ සංවේදී සිතින් වෛද්‍ය විජේ සිංඝාල් මෙලෙස පවසනවා.

“අපි දැන් පසු කරන්නේ මීට කලින් කවදාවත් දැකපු නැති දේවල් දකින්න සිදුවුණ කාලයක්. ඒක ඇත්ත. ඉන්දියාව තුළ දැන් තියෙන තත්ත්වය නිසා හැමෝම කොයි තරම් පීඩනයට පත් වෙලාද කියන එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. එහෙත් කොයි තරම් මානසිකව වැටුණත් හරිදේ මොකක්ද වැරදි දේ මොකක්ද කියන දෙක හඳුණාගන්න තියෙන හැකියාව අපි නැතිකරගන්න නරකයි”

✍ සහන් පද්මසංඛ පීරිස්

Rate this item
(5 votes)
Last modified on Friday, 14 May 2021 11:42