May 02, 2024

පළමු හයිඩ‍්‍රජන් ඉන්ධන මෝටර් රථය Toyota වෙතින් (VIDEO)

ටොයෝටා සමාගම විසින් පුළුල් වෙළෙඳපොළ වෙත නිකුත් කෙරෙන ලොව පළමු හයිඩ‍්‍රජන් ඉන්ධන මෝටර් රථය එළි දක්වා තිබේ. දොර හතරේ මෝටර් රථයක්වන මෙය ජපන් බසින් අනාගතය යන අරුත දෙන මිරායි (Toyota mirai) ලෙස නම් කර ඇත.

ඩොලර් 57000ක් වැනි ඉහළ මිලකට වෙළෙඳපොළට නිකුත් කෙරෙනු ඇති මිරායි 400ක් ලබන වසරේ දී අලෙවි කිරීම ටොයෝටා සමාගමේ ඉලක්කයයි.

2017 වනවිට මේවා 3000ක් අමෙරිකාව තුළ අලෙවි කිරීමටත් වසරකට මෝටර් රථ 100 ක් යුරෝපය තුළ අලෙවි කිරීමටත් සමාගම සූදානමින් සිටී. එක් වරක් ඉන්ධන පිරවීමෙන් පසු කිලෝමීටර් 650 ක් අඛණ්ඩ ව ධාවනය කළ හැකිවීම මෙහි ඇති විශේෂත්වයක්. මෙය සාම්ප‍්‍රදායික ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක පරාසය මෙන් තුන්ගුණයක්වන අතර පෙට‍්‍රල්, ඩීසල් ඉන්ධන හා සමාන ලෙසින් මිනිත්තු කිහිපයකින් යළි ඉන්ධන පිරවිය හැකිවීම ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයට සාපේක්ෂ තවත් වාසියක් ලෙස සැලකේ.

හයිඩ‍්‍රජන් ඉන්ධන නිෂ්පාදනය සහ සම්පීඩනය කිරීම සඳහා ෆොසිල ඉන්ධන භාවිතා කෙරුණ ද මෝටර් රථය තුළ දහනය මගින් වායුගෝලයට නිකුත් කෙරෙන්නේ ජල වාෂ්ප පමණක් වීම පරිසර හිතකාමී පියවරක් ද වනු ඇත. ටොයෝටා සමාගමේ උප සභාපති මිට්සුෂිසා කාටෝ පවසා ඇත්තේ මිරායි මගින් ගෝලීය පරිසර හා බලශක්ති අභියෝග සඳහා සාර්ථක විසඳුමක් මෙන් ම හයිඩ‍්‍රජන් පදනම් කරගත් සමාජයක් සඳහා මුල් පියවරක් තැබීම ටොයෝටාහි ජයග‍්‍රහණයක් බවයි.

Rate this item
(0 votes)