May 02, 2024

වසර 15 කට පසු ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයකට

November 17, 2021

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා.

ඒ සමඟම වසර 15කට පසුව අන්තර්ජාතික පාපන්දු තරඟාවලියක අවසන් මහා තරඟයට පිවිසීමට ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයෝ සුදුසුකම් ලැබුවා. රීඩ් මාවත තුරඟ තරඟ පිටියේ ඊයේ විදුලි ආලෝක ධාරා මැද පැවැති බංග්ලාදේශය සමඟ තරඟය ගොල් 2-1කින් ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකා පිලට අවසන් මහා තරඟයේ දොරටු විවර වුණා.

ගෝල් 1-1ක් ලෙස තරඟය සම වී අවසන් තරඟයට පිවිසීමට අසීරු තත්වයක ශ්‍රී ලංකා කණ්ඩායම පසුවෙද්දී, තරඟයේ නියමිත කාලයේ අවසන් මිනිත්තුවේදී වසිම් රසීක්ට ලැබුණු දඬුවම් පහර සාර්ථක කොට බංග්ලාදේශය තරඟාවලියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සමත් වීම තරඟයේ විශේෂ සිදුවීමක්.

ශ්‍රී ලංකාව හා ෂීෂෙල්ස් අතර අවසන් මහා තරඟය මේ 19 වැනිදා පස්වරු 7ට රිඩ් මාවත තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව අවසන් වරට පාපන්දු තරඟාවලියක අවසන් මහා තරඟයට පිවිස ඇත්තේ වසර 2006දී කොළඹ සුගතදාස පිටියේ පැවැති දකුණු ආසියා පාපන්දු තරගාවලියේදී වන අතර, එහිදී පාකිස්තානය හමුවේ ගෝල් 1-0ක පරාජයක් අත්වුණා.

වසර 2018දී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය හමු වී ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් බංග්ලාදේශය පරාජයට පත් කිරීම ශ්‍රී ලංකාව අවසන්වරට අන්තර්ජාතික තරඟයකදී ලැබූ පාපන්දු ජයග්‍රහණය මෙය වනවා. මෙය ශ්‍රී ලංකා පාපන්දු ප්‍රේක්ෂකයින්ට මෙය සුබ පණිවිඩයක්.

ජර්මනියේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි වසීම් රසීක් ඉතිහාසයේ අන්තර්ජාතික තරඟයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු රැස් කළ වැඩිම ගෝල් ප්‍රමාණය වාර්තා කරමින් මෙයට පෙර මාලදිවයින සමඟ තරඟය සම කිරීමේ පුරෝගාමියා වුණා.

බංග්ලාදේශයට එරෙහි තරඟයේ 24 වැනි මිනිත්තුවේදී වසීම් රසීක් ශ්‍රී ලංකාවට පළමු ගෝලය එක් කළ අතර, ඔහු මේ තරඟාවලියේ දැනට ගෝල් 6ක් රැස් කරමින් වාර්තා පොත අලුත් කර සිටිනවා.  එබැවින් දැනට මේ තරඟාවලියේ වැඩිම ගෝල් රැස් කළ ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේද වසීම් රසීක් ය.

අධික වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා පිටිය තෙත බරිතව පැවැති අවස්ථාවේ තරඟයේ 71 වැනි මිනිත්තුවේදී අතිරේක ක්‍රීඩකයකු ලෙස පිටියට පිවිසි ජුවෙල් රනා බංග්ලාදේශ පිලට ගෝලය එක් කරමින් එක් අවස්ථාවක තරඟය සම කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරඟයට පිවිසීමට නම් බංග්ලාදේශය පරාජය කිරීම අනිවාර්ය වී තිබුණා.

එහෙත් තරඟයේ 31 වැනි මිනිත්තුවේදී නීති විරොධී ක්‍රීඩාව හේතුවෙන් ආරක්ෂක කළාපයේ ක්‍රීඩක ඩක්සන් පුස්ලාස් රතු කාඩ් පෙන්වා පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළා.

ඒ සමඟම බංග්ලාදේශයට දඬුවම් පහරක් පිරිනැමුණු අතර නායක තෝලු බාර්මාන් එල්ල කළ පහර ශ්‍රී ලංකාවේ වාසනාවට ඉවතට ගියා.

දින හතරකට කලින් පැවැති ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් අතර තරඟය ගෝල් 1-0ක් ලෙස සීෂෙල්ස් ජයග්‍රහණය කිරීමෙන් ශ්‍රී ලංකාවට බංග්ලාදේශය සමඟ තරඟයේ ජයග්‍රහණය වැදගත් විය.

මාලදිවයින සමඟ පළමු තරඟය ශ්‍රී ලංකාව ගෝල් 4-4ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වූ හෙයින් අවසන් මහා තරඟයට පිවිසීම උදෙසා අවම වශයෙන් එක් තරඟයක් හෝ ජයගත යුතුව තිබුණා.

 මාලදිවයින පිලට ද මේ තත්ත්වයම උදා වී තිබුණද සීෂෙල්ස් සමඟ ඊයේ පැවැති තරඟය ගෝල් වාර්තා නොවී ජය පරාජයවීමෙන් මාලදිවයින තරඟාවලියෙන් ඉවතට විසි වී ගියා.

මේ තරඟාවලියට ක්‍රීඩා කරන මාලදිවයින ලෝක පාපන්දුු ශ්‍රේණිගත කිරීමේ 156 වැනි ස්ථානයේ සිටින අතර, බංග්ලාදේශය 187 වැනි ස්ථානයේ සිටිනවා. සීෂෙල්ස් පිල 199 වැනි ස්ථානයේයි. ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 204 වැනි ස්ථානයයි.

 

 

Rate this item
(0 votes)