May 01, 2024

අනාගතයේදී ලෝකයේ පෙරළිකාර කණ්ඩායම ශ්‍රී ලංකාවයි - බිශෝප් කියූ අනාවැකිය

November 09, 2021

“ගොඩාක් දුර යන්න පුළුවන් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව සතුව සිටිනවා. හොඳ දක්ෂතා දක්වන පන්දු යවන්නන් ලෙස වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ ඉදිරියෙන් සිටිනවා.

දුෂ්මන්ත චමීර ඇතුළු වේග පන්දු යවන්නන් සැලකිය යුතු දක්ෂතාවක් පෙන්නුම් කළා. චරිත් අසලංක හා පැතුම් නිශ්ශංක වගේ පිතිකරුවන් වෙනත් කණ්ඩායම්වල නෑ. ඔවුන් ඉතා හොඳින් රැක බලාගත යුතුයි”

මෙලෙස අදහස් දක්වා තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළ අති දක්ෂ වේග පන්දු යවන්නෙකු වූ ඉයන් බිශෝප් ජාතික පුවත්පතක් සමඟ විශේෂ කතාබහකට එක්වෙමිනි.

ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ ශ්‍රී ලංකා පිල ඉදිරියේදී ලොව පෙරැළිකාර ක්‍රිකට් කණ්ඩායම වන බවයි.

ශ්‍රී ලංකා පිල ගොඩනැගීමට අවශ්‍ය සම්පත් මේ වන විට උපරිම අයුරින් ඇති අතර, අවශ්‍ය වන්නේ ඔවුන්ට නිවැරදි මග පෙන්වීම පමණක් බව ඉයන් බිෂොප් මහතා පවසා තිබෙනවා.

“පසුගිය කාලයේ ශ්‍රී ලංකා පිල දුර්වල තත්ත්වයක සිටි බව කවුරුත් පිළිගන්නා දෙයක්. නමුත් මාසයක් දෙකක් ඇතුළත ඔවුන් වේගයෙන් ඉදිරියට පැමිණි ආකාරය දිහා සියළු දෙනා හැරී බැලිය යුතුයි.

බලන්න ඔවුන් ක්‍රීඩා කළ අවසන් තරඟ දෙක. එංගලන්තයට හොඳ සටනක් දුන්නා. කොදෙව් පිල පරාජයට පත් කළා. අවසන් තරඟයේදී වෙනදාටත් වඩා හොඳ සැලසුමකින් ක්‍රීඩා කළා.

කොදෙව් පිලේ වැරදි අඩුපාඩු තරඟයට කළින් ඔවුන් දැනගෙන අවශ්‍ය උත්තරය දුන්නා. ඒක ක්‍රිකට් තරඟයක් ජය ගන්න අවශ්‍යම දෙයක්. තරඟයට කලින් ඉඳලා ප්‍රතිවාදියාට එරෙහි සැලසුම වැදගත්. ශ්‍රී ලංකා පිල ඒ දේ හරියට ම කළා.” ක්‍රිකට් විචාරක ඉයන් බිෂොප් මහතා පවසනවා.

 “මගේ අදහස නම් ශ්‍රී ලංකා පිල ඉදිරියට ගන්න පුළුවන් පහසුම කණ්ඩායමක්. වයස අතින්, දක්ෂතා අතින් ඔවුන්ට ඉණිමගේ ඉහළටම නගින්න කාලය තියෙනවා.

අනාගතයේදී මේ කණ්ඩායම ලෝකයේ අනෙකුත් කණ්ඩායම්වලට අභියෝගාත්මක ක්‍රිකට් කණ්ඩායම වන බවට අනාවැකියක් කියන්න පුළුවන්” බිෂොප් මහතා පවසා තිබුණා.රුපවාහිනී

විස්තර විචාරක ඉයන් බිෂොප් මහතා බටහිර ඉන්දීය කොදෙව් පිලට 1988දී එක් වී වේග පන්දුවෙන් ක්‍රිකට් ලොව සලිත කල ක්‍රීඩකයෙකි. ටෙස්ට් තරඟ 43කදී කඩුලු 161ක් බිඳ හෙළු ඔහු එක්දින අන්තර්ජාතික තරග 84කදී කඩුලු 118ක් ලබා ගත්තා. වේග පන්දුව තියුණු චලනයකට ලක්කළ හෙතෙ‍ම 1998 මාර්තු මාසයේදී එංගලන්තයට එරෙහිව සිය අවසන් ටෙස්ට් ක්‍රීඩා කළා. එතැන් සිට ඔහු සාර්ථක වෘත්තීය ජීවිතයක් ගත කරමින් රූපවාහිනී විචාරකයකු ලෙස කටයුතු කරමින් සිටිනවා.

Rate this item
(0 votes)