May 19, 2024

වනිඳුගේ දස්කම නිසා ශ්‍රී ලංකාව සුපිරි 12දෙනාගේ වටයට

2021 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනා අතරට තේරී පත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ (20) හැකි වුණා.

ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ නිමා වූ තරගයෙන් ජය ගැනීමත් සමග යි.

අයර්ලන්තය පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ලකුණු 70කින්.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට මුහුණ දීමට සිදු වූයේ කිසිවෙකු නොසිතූ ඉරණමකට යි.

තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම එක් ලකුණක් හෝ නොලබාම දැවී යාමට කුසල් පෙරේරාට සිදු වූයේ ගැරත් ඩෙලනි රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙන්.

තරගයේ දෙවැනි පන්දු වාරයේ දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල බිඳ වැටුණේ ලකුණූ 06ක් ලබා සිටියදී යි.

එවැනි ඉරණමක් අත් වූ විටෙක ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව බවට පත් වූ අවිශ්ක ප්‍රනාන්දුට ද අත් වූයේ එම ඉරණමම යි.

අවිශ්ක ද මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගන්නට ජෝෂ් ලිට්ල් සමත් වූවා.

ශ්‍රී ලංකාවේ මුලු ලකුණු ගණන 08ක් වෙද්දී එලෙස කඩුළු 03ක් දැවී ගොස් තිබුණා.

කෙසේ වෙතත් වෙනදාට මැද පෙළ අවසානයේ පිටියට පිවිසෙන වනිඳු හසරංග දිනයේ පස්වැනි පිතිකරු ලෙස පිටියට ආවේ කිසිවෙකු නොසිතූ අයුරින්.

හසරංග ඉක්මන් ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව ඇද වැටී තිබූ තැනින් ගොඩගන්නට සමත් වූ අතර එයට අනගි සහයක් ලබා දීමට පැතුම් නිස්සංක ක්‍රියා කළා.

ඔවුන් දෙදෙනාම අර්ධ ශතක වාර්තා කළ අතර දෙදෙනා එක්ව ගොඩ නැගූ ලකුණු සබඳතාව 123ක්.

එම සබඳතාව බිඳවැටුණේ ලකුණු 71ක් ලබා සිටිය දී හසරංග දැවීයාමත් සමග යි.

මීලඟ පිතිකරු ලෙස පැමිණි භානුක රාජපක්ෂ දැවැන්ත පහරකට ගියත් එය උඩපන්දුවක් බවට පත් වී, හැරී ටෙක්ටර්ගේ අතට පත් වූවා.

ඔහුට ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

පැතුම් නිස්සංක 06 වැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර ඔහු ඒවන විට ලකුණූ 61ක් ලබා සිටියා.

චාමික කරුණාරත්න හට ද සාර්ථක වන්නට නොහැකි වූයේ ලකුණු 02ක් පමණක් සිටිය දී දැවී යාම හේතුවෙන්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුලු ලකුණු ගණන තවදුරටත් ඉහළ නැංවීමට නායක දසුන් ශානකට හැකි වූ අතර ඔහු නොදැවී ලකුණු 21ක් ලබා ගත්තා.

දුෂ්මන්ත චමීර ද එක් ලකුණක් වාර්තා කළේ නොදැවී යි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 හමුවේ කඩුළු 07ක් දැවී ශ්‍රී ලංකාව ලකුණූ 171ක් රැස් කළා.

ලකුණූ 172ක ඉලක්කයක් වූ පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පැමිණි අයර්ලන්ත පිතිකරුවන්ට සාර්ථක වන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් කිසිසේත් ඉඩ ලබා නොදුන් අතර පළමු අයර්ලන්ත කඩුල්ල මුළු ලකුණු ගණන 08ක් වෙද්දී දවා ගන්නට චාමික කරුණාරත්න සමත් වුණා.

එලෙස දැවී ගිය කෙවින් ඔ’බ්‍රයන් ලබා ගත්තේ ලකුණු 05ක් පමණ යි.

මහීෂ් තීක්ෂණ දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 07ක් ලබා සිටි පෝල් ස්ටර්ලිං දවාගත්තේ මුලු ලකුණු ගණන 18ක් වෙද්දී යි.

අයර්ලන්ත ලකුණූ පුවරුවේ 32 සටහන් වෙද්දී ලකුණු 02ක් ලබා සිටි ගැරත් ඩෙලනි දැවී ගියා.

එම කඩුල්ල දවා ගත්තේ වනිඳු හසරංග විසින්.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සබඳතාවක් ගොඩ නගන්නට ඇන්ඩෘෘ බැල්බර්නී සහ කර්ටිස් කැම්ෆර් සමත් වූවත් මහීෂ් තීක්ෂණගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී ලකුණු 24ක් ලබා සිටි කැම්ෆර් දැවී ගියා.

ඊළඟට පැමිණි පිතිකරු වූ හැරී ටෙක්ටර් ලකුණු 03කට දවාගන්නට ලහිරු කුමාර සමත් වුණා.

මුලු ලකුණු ගණන 89ක් වෙද්දී අයර්ලන්තයේ 06 වැනි කඩුල්ල ලෙස එක් ලකුණක් පමණක් ලබා සිටි නීල් රොක් දැවී ගියේ කඩුළු රකින ක්‍රීඩක කුසල් පෙරේරා සිදු කළ “ස්ටම්ප්” කිරීමක ප්‍රතිඵලයක් ලෙස යි.

දුවද්දී දැවී ගිය මාක් ඇඩයර් 07 වැනි කඩුල්ල ලෙස ලකුණු 02කට දැවී ගියා.

අයර්ලන්ත ඉනිමෙහි වැඩිම ලකුණූ ලාභියා වූ ඇන්ඩෘෘ බැල්බර්නි 08 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 41ක් ලබා සිටියදී යි.

අවිශ්ක ප්‍රනාන්දු රැකගත් උඩපන්දුවකින් ඔහු දැවී ගියා.

දුෂ්මන්ත චමීර යැවූ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී ක්‍රෙයිග් යං දැවී ගියේ එක් ලකුණකට යි.

මුලු ලකුණු ගණන 101ක් බවට පත්වෙද්දී අයර්ලන්ත අවසාන කඩුල්ල දවා ගැනීමට චාමික කරුණාරත්න සමත් වූ අතර එලෙස දැවී ගියේ එක් ලකුණක් පමණක් ලබා සිටි ජෝෂ් ලිට්ල්.

තරගය එලෙස අවසන් වෙද්දී අනෙක් අන්තයේ සිටි සිමී සිං නොදැවී ලකුණු 05ක් ලබා සිටියා.

ඒ අනුව තරගයේ 19 වැනි පන්දු වාරයේ දී සියළු දෙනා දැවී අයර්ලන්තයට ලබාගත හැකි වූයේ ලකුණු 101 පමණ යි.

ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 70කින් තරගය ජයගත් අතර සුපිරි 12 දෙනාගේ වටයෙහි සිය ස්ථානය තහවුරු කරගැනීමට ද සමත් වූවා.

තරගයේ වීරයා වූයේ වනිඳු හසරංග යි.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 10:00