May 19, 2024

තරගයට සියල්ල සූදානම් - කාසියේ වාසිය විසඳුනේ මෙහෙමයි

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව තරගවදින දෙවැනි තරගයට මේවන විට සියල්ල සූදානම්ව පවතිනවා.

අබුඩාබි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව මෙහි දී තරග වදින්නේ අයර්ලන්තයට එරෙහිව යි.

තරගයේ කාසියේ වාසිය මීට සුළු මොහොතකට පෙර උරගා බැලුණා.

එය දිනාගත්තේ අයර්ලන්ත නායකයා විසින්.

ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසීමට නියමිත යි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය නැමීබියාවට එරෙහිව කඩුළු 07කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරගයට එක් වන්නේ එම ජයග්‍රහණයේ රිද්මය ද සමග යි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙන්ම තමන් සහභාගී වූ පළමු තරගය නෙදර්ලන්තයට එරෙහිව කඩුළු 07කින් ජය ගැනීමට අයර්ලන්තය ද සමත් වූවා.

එබැවින් ඔවුන් ද අද තරගයට එක්වන්නේ A කාණ්ඩයේ සිටින ප්‍රබල කණ්ඩායමක් ලෙසින්.

එම තරග ජයත් සමග A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව මේවන විට සමත්ව සිටිනවා.

ඒ ප්‍රසාද ලකුණු 02ක් සහ +2.607ක දල ලකුණු ලබා ගැනීමේ වේගයකට අනුව යි.

අයර්ලන්ත කණ්ඩායම ද ප්‍රසාද ලකුණූ 02ක් හිමිකරගෙන සිටියත් ඔවුන්ගේ දල ලකුණු ලබාගැනීමේ වේගය +1.755ක් වන බැවින් ඔවුන් දෙවැනි ස්ථානයේ පසුවනවා.

මෙම තත්ත්වයත් සමග අද තරගය ජය ගැනීම දෙපාර්ශවයටම තීරණාත්මක වන්නේ ඒ හරහා සුපිරි 12 දෙනාගේ වටයට යාම සඳහා වැඩි අවස්ථාවක් ලබාගත හැකිවනු ඇති නිසා යි.

අද තරගය පැවැත්වෙන්නේ අබුඩාබි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී යි.

මෙම ක්‍රීඩාංගනය සැළකෙන්නේ ක්‍රමයෙන් මන්දගාමීවන තණ තීරුවක් ලෙස යි.

එබැවින් පවර්ප්ලේ අවස්ථාව තුළ වැඩි ලකුණූ ගණනක් රැස් කර ගත යුතු බවට ක්‍රීඩා විචාරකයින් සඳහන් කරනවා.

තව ද තරගයේ ජය පරාජය වෙත පවර්ප්ලේ අවස්ථාවේ දී ලබාගන්නා ලකුණු ප්‍රමාණය ඉතාමත් තීරණාත්මකවනු ඇති බවට යි ඔවුන් පවසන්නේ.

ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ මුල් පෙළ පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වීම ශ්‍රී ලංකා කණ්ඩායමට බලපා ඇති ගැටළුවක් ලෙස සැළකිය හැකියි.

කෙසේ වෙතත් මැද පෙළ පිතිකරුවන් හොඳ පිතිකරණ රිද්මයක සිටින බව ද පෙනෙන්නට තිබෙනවා.

එමෙන්ම පන්දු යවන්නන් ද ඉතා හොඳ රිද්මයක පසුවන බව දැකිය හැකි යි.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 10:01