May 19, 2024

ශ්‍රී ලංකා - අයර්ලන්ත අද සටනට පෙර ඔබ දැනගත යුතුම කරුණු

අයර්ලන්තයට එරෙහි සටන

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව තරගවදින දෙවැනි තරගය අද (20) රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

අබුඩාබි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව මෙහි දී තරග වදින්නේ අයර්ලන්තයට එරෙහිව යි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය නැමීබියාවට එරෙහිව කඩුළු 07කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරගයට එක් වන්නේ එම ජයග්‍රහණයේ රිද්මය ද සමග යි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙන්ම තමන් සහභාගී වූ පළමු තරගය නෙදර්ලන්තයට එරෙහිව කඩුළු 07කින් ජය ගැනීමට අයර්ලන්තය ද සමත් වූවා.

එබැවින් ඔවුන් ද අද තරගයට එක්වන්නේ A කාණ්ඩයේ සිටින ප්‍රබල කණ්ඩායමක් ලෙසින්.

දැන් ඉන්න තැන

එම තරග ජයත් සමග A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව මේවන විට සමත්ව සිටිනවා.

ඒ ප්‍රසාද ලකුණු 02ක් සහ +2.607ක දල ලකුණු ලබා ගැනීමේ වේගයකට අනුව යි.

අයර්ලන්ත කණ්ඩායම ද ප්‍රසාද ලකුණූ 02ක් හිමිකරගෙන සිටියත් ඔවුන්ගේ දල ලකුණු ලබාගැනීමේ වේගය +1.755ක් වන බැවින් ඔවුන් දෙවැනි ස්ථානයේ පසුවනවා.

මෙම තත්ත්වයත් සමග අද තරගය ජය ගැනීම දෙපාර්ශවයටම තීරණාත්මක වන්නේ ඒ හරහා සුපිරි 12 දෙනාගේ වටයට යාම සඳහා වැඩි අවස්ථාවක් ලබාගත හැකිවනු ඇති නිසා යි.

පැරණි මතක

ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තය සමග විස්සයි 20 තරගයක් අවසන් වරට ක්‍රීඩා කළේ මීට වසර 12කට පෙර වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය මීට පෙර 2009 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ දී  එලෙස මුණගැසුණා

එහි දී ලකුණු 09ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකාව සමත් වූවා.

අසමත් මුල් පෙළ

ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ මුල් පෙළ පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වීම ශ්‍රී ලංකා කණ්ඩායමට බලපා ඇති ගැටළුවක් ලෙස සැළකිය හැකියි.

කෙසේ වෙතත් මැද පෙළ පිතිකරුවන් හොඳ පිතිකරණ රිද්මයක සිටින බව ද පෙනෙන්නට තිබෙනවා.

එමෙන්ම පන්දු යවන්නන් ද ඉතා හොඳ රිද්මයක පසුවන බව දැකිය හැකි යි.

පිටියේ තත්ත්වය

අද තරගය පැවැත්වෙන්නේ අබුඩාබි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී යි.

මෙම ක්‍රීඩාංගනය සැළකෙන්නේ ක්‍රමයෙන් මන්දගාමීවන තණ තීරුවක් ලෙස යි.

එබැවින් පවර්ප්ලේ අවස්ථාව තුළ වැඩි ලකුණූ ගණනක් රැස් කර ගත යුතු බවට ක්‍රීඩා විචාරකයින් සඳහන් කරනවා.

තව ද තරගයේ ජය පරාජය වෙත පවර්ප්ලේ අවස්ථාවේ දී ලබාගන්නා ලකුණු ප්‍රමාණය ඉතාමත් තීරණාත්මකවනු ඇති බවට යි ඔවුන් පවසන්නේ.

අයර්ලන්ත ප්‍රබලයෝ

නෙදර්ලන්තයට එරෙහි තරගයේ දී ක්‍රීඩා කළ කණ්ඩායමම අයර්ලන්තය වෙනුවෙන් අද ක්‍රීඩා කරනු ඇති බවට යි වාර්තා වන්නේ.

අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කර්ටිස් කැම්පර් වෙත මේවන විට බොහෝ සෙයින් අවධානය යොමුව තිබෙනවා.

ඒ ඔහු නෙදර්ලන්තයට එරෙහි තරගයේ දී දැක්වූ දස්කම් හේතුවෙන්.

පන්දු 04ක් තුළ කඩුළු 04ක් දවා ගන්නට ඔහු එහි දී සමත් වූවා.

එමෙන්ම මාර්ක් ඇඩයිර්ගේ පන්දු යැවීම් ද විශේෂයෙන් කැපී පෙනෙනවා.

පිතිකරණයේ දී පෝල් ස්ටර්ලිං සහ කෙවින් ඔබ්‍රියන් යන දෙදෙනා අත්දැකීම් බහුල පිතිකරුවන් ලෙස හැඳින්විය හැකියි.

එමෙන්ම නායක ඇන්ඩි බැල්බර්නි සහ ගැරෙත් ඩෙලනි වැනි මැද පෙල පිතිකරුවන් ද කිසි සේත් අවතක්සේරු කර නොහැකි බව ක්‍රීඩා වෙබ් අඩවි වාර්තා කරනවා.

ශ්‍රී ලංකා පුහුණුකරුගේ අදහස

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ප්‍රකාශ කළේ නැමීබියානු කණ්ඩායමට එරෙහි තරගයේ දී ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ම අද තරගයටත් සහභාගිවන බව යි.

එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළ බවට තමන් විශ්වාස කරන බවත් එය ඉදිරි තරගවලට හොඳ ආරම්භයක් බවත් ඔහු පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායම පිළිබඳ හොඳ අධ්‍යනයක් සිදු කර ඇති බව පවසන ඔහු වැඩිදුරටත් පැවසූවේ අයර්ලන්තයට එරෙහිව ක්‍රියාත්මක කිරීම සඳහා සැළසුමක් ද සකස්කර ඇති බව යි.

මේවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර කණ්ඩායමක් බවට පත්ව ඇති බව ද ඔහු පවසනවා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම ඉතා හොඳ මට්ටමක ඇති බව පසුගිය තරගයේ දී පෙන්නුම් කළ බවත්, මෙම තරගාවලියට සහභාගී වී ඇති අනෙකුත් කණ්ඩායම්වල පන්දු යවන්නන්ටත් වඩා ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉහළ තලයක සිටින බවත් ඔහු සඳහන් කළා.

පන්දු රැකීම අතින් ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉහළ දස්කම් දක්වමින් සිටින බවට යි මිකී ආතර් මහතාගේ අදහස වී ඇත්තේ.

එබැවින් පිතිකරුවන් ද දස්කම් අතරට පැමිණියහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට භයානක කණ්ඩායමක් බවට පත් වීමේ හැකියාව පවතින බව ද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම අද තරගයට හොඳ සූදානමකින් සියළුම ක්‍රීඩකයින් පසුවන බව යි ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සඳහන් කළේ.

මහේල කියන දේ

මේ අතර මෙම තරගාවලිය සඳහා උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටින හිටපු නායක මහේල ජයවර්ධන මහතා ද අදහස් දක්වමින් පැවසූවේ පන්දුවාර විස්ස තරගවල සාර්ථකත්වය සඳහා අත්දැකීම් මෙන්ම තාරුණ්‍ය ද ඉවහල්වන බව යි.

එමෙන්ම මේ මාදිලියේ තරගවල දී අභීත බව ද වැදගත්වන බව ඔහු පෙන්වා දෙනවා.

එම ගුණාංග අතින් ශ්‍රී ලංකා කණ්ඩායම පොහොසත් බව ද ඔහු පවසා සිටිනවා.

විස්සයි 20 ක්‍රිකට් තරගයක ජය පරාජය තීරණය වන්නේ එය පැවැත්වෙන මොහොතේ කටයුතු කරන ආකාරයටවන බැවින් සෑම විටෙකම සූදානමින් පසුවීම වැදගත් බව ද ඔහු පෙන්වා දෙනවා.

අත්දැකීම් සපිරි ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටීම ඉතා වැදගත් බවත්, පන්දු යවන්නන්ගේ බලඇණිය ඉතා හොඳ මට්ටමක පවතින බවත්, ශ්‍රී ලංකා පිතිකරුවන් හට ද වෙනසක් කිරීමේ හැකියාව ඇති බවත් මහේල ජයවර්ධන මහතා අවධාරණය කරනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 10:01