May 20, 2024

මැතිව්ස් ගැන විශේෂ ආරංචියක් : කාටත් නොකියම වැඩ පටන් අරන්

September 23, 2021

ටික කලකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටී ඇන්ජලෝ මැතිව්ස් ගැන සුබ ආරංචියක් අසන්නට ලැබෙනවා.

ඒ ඔහු යළිත් සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබීම ගැන.

ස්වයං පුහුණු වීම්

ඔහු තමන් පදිංචි වත්තල ප්‍රදේශයේදී ස්වයං පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

ඒ ගැන ඔහුගේ නිල වෙබ් අඩවියේද සටහනක් තබා තිබෙන බවයි වාර්තා වන්නේ.

මැතිව්ස් අවසන් වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ඉකුත් මැයි මස බංග්ලාදේශයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ පැවති තරඟයේදී.

ඉකුත් ජුලි මසදී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දීමක් කර තිබුණා.

ජ්‍යෙෂ්ඨයන්ට කැපිල්ලක්

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන දැඩි පිළිවෙත නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ගැන සිතා බලමින් සිටින බවට.

එහෙත් ඒ බව ඔහු නිල වශයෙන් ප්‍රකාශ කළ නැති අතර පුද්ගලික කාරණා හේතුවෙන් ටික කලකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටින බවද ඉන් පසුව මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දුන්නා.

මේ කාලය තුළ ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳවද ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මත ගැටුමක් ඇති වූ අතර ඒ හේතුවෙන් බොහෝ කලක් යනතුරු ක්‍රිකට් ක්‍රීඩකයන් ගිවිසුම් අත්සන් කළේ නැහැ.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගිවිසුම් අත්සන් නොකරන ලෙස බලපෑම් කළ ප්‍රධාන පුද්ගලයකු ලෙස මැතිව්ස්ට චෝදනාද එල්ල වුණා.

එළැඹෙන ලෝක කුසලානය

එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතාවලියට සහභාගී වන කණ්ඩායමට මැතිව්ස් ඇතුළත් නැහැ.

ඒ 2009 වසරෙන් පසු මැතිව්ස් නැතිව ලෝක කුසලානයක් සඳහා සහභාගි වන ප්‍රථම අවස්ථාව ලෙසයි වාර්තා වන්නේ.

අවසන් වරට පැවැත් වූ 2019 විස්සයි විස්ස ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වුයේත් මැතිව්ස්.

මේ වන විට 34 වැනි වියේ පසුවන මැතිව්ස් ටෙස්ට් තරඟ 90 කටත් , එක්දින තරග 218 කටත් , විස්සයි විස්ස තරග 78 කටත් ශ්‍රී ලංකා වෙනුවෙන් සහභාගී වී තිබෙනවා.

ටෙස්ට් තරගවලදී සාමාන්‍ය 44.86 , එක්දින තරඟවලදී සාමාන්‍ය 41.67 හා විස්සයි විස්ස තරග වලදී සාමාන්‍ය 25.51සංඛ්‍යාවක් පවත්වාගෙන යන මැතිව් ශ්‍රී ලංකාව කළ දක්ෂ පිතිකරුවෙකු පමණක් නොව තුන් ඉරියව්වේම ක්‍රීඩකයකු ද වනවා.

මේ නිසා ඔහුගෙන් තවත් වසර කීපයක් ශ්‍රී ලංකා කණ්ඩායමට සේවය ලබා ගත හැකි බවයි ක්‍රිකට් විචාරකයින්ගේ මතය වන්නේ.

Rate this item
(3 votes)
Last modified on Thursday, 23 September 2021 15:05