May 02, 2024

හිස් පුටුවක ඉපදුනාට හිස් පුටුවක මැරෙන්න හොඳ නැහැ : පුස් සයිකලේ සිට BMW එක දක්වා ගිය මාලිංගගේ ගමන

September 16, 2021

"එදා පුස් සයිකලෙන් ගිය මම BMW යන්නේ කියලා බොහෝ අය කියනවා.කතාවක් තියෙනවා හිස් පුටුවක ඉපදුණාට හිස් පුටුවක මැරෙන්න හොඳ නැහැ කියලා."

මෙහෙම සටහනක් තබා තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් ලසිත් මාලිංග.

ක්‍රිකට් දිවියේ දුෂ්කරතා

ඒ සටහන තුළ තමාගේ ක්‍රිකට් ජීවිතයේ අසීරු තැන් මෙන්ම තීරණාත්මක තැන් පිලිබඳවත් මාලිංග සඳහන් කර තිබෙනවා.

"මගේ අම්මයි තාත්තයි දෙන්නම රැකියාවක් කළා.පවුලේ ඉන්නේ මමයි , අයියයි , මල්ලියි.මීට අවුරුදු විස්සකට විතර ඉස්සරහ බොහොම අමාරුවෙන් තමයි මමත් ක්‍රිකට් ක්‍රීඩාවට ආවේ.ජාතික කණ්ඩායම නියෝජනය කරාට පස්සේ තමයි අතට සල්ලි හම්බ වෙලා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ ගන්න පුළුවන් වුණේ."

මාලිංග සිය ක්‍රිකට් අතීතය මතක් කර දෙන්නේ ඔය විදිහට.

සිය පාසැල් දිවිය ගැන මාලිංග කියන්නේ මෙන්න මෙහෙම කතාවක්.

පාසල් දිවියේ මතකය

"අවුරුදු දාහතේදී තමයි මම මුලින්ම ලෙදර් බෝලයකින් සෙල්ලම් කලේ.මේ පළවෙනි ඉස්කෝලේ තිරානගම විද්‍යාතිලක විද්‍යාලයට ගියේ.එතැනින් ශිෂ්‍යත්වය නිසා මම ගාල්ලේ ඉස්කෝලෙකට ආවා.ඊට පස්සේ ඒ ගාල්ලේ මහින්ද විද්‍යාලයට ආවා.සාමාන්‍ය පෙළ හදාරනවත් එක්ක තමයි මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ."

මාලිංග ක්‍රිකට් වලට යොමු වෙච්ච විදිහත් අහම්බයක්.

"එක්තරා තරඟයකට ක්‍රීඩා කරන්න එකොළහක් නැහැ කියලා මාවත් අරන් ගියා.ඒ තරඟයේදී මම කඩුලු ගත්තා.ඒ තරගයේ විනිසුරු හැටියට හිටියේ මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ගුරුවරයකු වූ ධර්මසිරි සර්.එයා මාව දැකලා එදා රෑම මට පණිවිඩයක් එවලා තිබ්බා.අපේ ගමේ සර් කෙනෙක් අතේ.මෙයා කවුද හොයලා එවන්න මහින්ද ඉස්කෝලෙට ගන්න ඕන කියලා.ඉතිං මට ඒ අවස්ථාව උදා වුණා."

තමන්ව ජාතික පිලට තේරුණු අවස්ථාව ගැනත් මාලිංගට අද වගේ මතකයි.ඒ මතකය මාලිංග අවදි කරන්නේ මේ විදිහට.

"මම දවසක් ජිම් එකේ ඉන්නකොට මාවන් අයිය ඇවිල්ලා කියාගෙන ගියා මොකද කියන්නේ ඔස්ට්‍රේලියාවේ ටුවර් එක යමුද කියලා.එතකොට මම දැනගෙන හිටියෙ නැහැ මොකක්ද වෙන්නේ කියලා.ඊට පස්සේ එයා තේරීම් කමිටු රැස්වීමට ගිහිල්ලා එන විට මට කියාගෙන ගියා ඔයා ටීම් එකේ ඉන්නවා කියලා.මට එදා ආපු සතුට කියාගන්න බැහැ.මම ගෙදරට කතා කරලා කිව්වා මාව ජාතික කණ්ඩායමට තෝරගෙන කියලා."

ගෙදර හා ගමේ අය

කොහොම වුණත් ඒ සිද්ධිය ගෙදරට හා ගමට කියපු කතාව ගැන කතාවකුත් මාලිංගට කියන්න තියෙනවා.

"මාව ජාතික පිලට තෝරා ගත්තා කියන එක ගැන ගෙදර අයටත් ගමේ අයටත් ලොකු වෙනසක් දැනුණේ නැහැ.සතියක් දෙකක් යනකොට තමයි ඒ අයට තේරුනේ මාව ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරාගෙන තියෙනවා කියලා.දැන් ඒක මතක් වෙනකොට සරල දෙයක්.හැබැයි ඒ දවස්වල ඒ ගැන කල්පනා කරද්දී මට ඒක හිතාගන්නත් බැහැ.හරි පුදුම දෙයක්."

මාලිංග එදා පුදුම දෙයක් ලෙස හිතපු මේ දේ හරහා අද ලොකු ගමනක් ඇවිත් තියෙනවා.එහෙම ඇවිත් ඒ ගමනට අද සමු දී තිබෙන්නේ ලෝකයේ එතෙක් මෙතෙක් බිහි කල.අමුතුම ආකාරයකට වේග පන්දු යවපු විශිෂ්ටයෙක් හැටියට.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 16 September 2021 12:37