වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨයන් තමන්ගේ ක්‍රිකට් දිවිය පිළිබඳව අවසන් තීරණවලට එළැඹිලා සිටිනවා.
ඊයේ (14) දිනය වෙද්දී ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් සිය ක්‍රිකට් දිවිය ගැන අවසන් තීරණයක් ගැනීමට සුදානම් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබුණා.
අද (15) දිනය වෙද්දී තවත් කණගාටුදායක සිදුවීමක් වාර්තා කරන්න මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනි ආයතනයක් කටයුතු කරලා තිබුණා.
ඔවුන් එලෙසෙ වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තවත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සහ සුපිරි පිතිකරු ළහිරු තිරිමාන්න සිය ක්‍රිකට් දිවිය පිළිබඳව අවසන් තීරණයකට සුදානම් වෙන බවයි.
ළහිරු තිරිමාන්න සහභාගී වූ අවසන් තරග කිහිපය පුරාවට ඔහු විශිෂ්ඨ දක්ෂතා දක්වා තිබෙනවා. නමුත් ඔහුව පසුගිය සමය තුළ පැවැත්වූ කිසිදු සංචාරයකට සහභාගී කරවා ගත්තේ නැහැ. එම මාධ්‍ය නාලිකාව වාර්තා කර සිටින්නේ ළහිරු තිරිමාන්න ඕස්ට්‍රේලියාව බලා යෑමට සුදානම්ව සිටින බවයි.
එමෙන්ම මෑතකදී සිය උපරිම දක්ෂතා අතරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින ජ්‍යේෂ්ඨම වේග පන්දු යවන්නා සුරංග ලක්මාල් ද සිය වෘත්තීය ක්‍රිකට් ජීවිතය පිළීබඳව අවසන් තීරණයක් ගැනීමට සුදානම් වන බව පවසා තිබෙන බවද එම නාලිකාව පවසා තිබුණා.