April 26, 2024

වසර 3කට පසු ද්විපාර්ශවික එක්දින ක්‍රිකට් තරගාවලියක ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

වසර 3කට පසු ද්විපාර්ශවික එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ, ස්කොට්ලන්තයත් සමග පැවති තරග 2කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 35කින් ජය ගනිමිනි.
එම ජයග්‍රහණයත් සමගින් තරග 2කින් සමන්විත තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
එඩින්බර්ග්හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනා ගත් ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ පළමුව පන්දු යැවීමට තීරණය කළහ.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ලකුණු 123කි.
මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 74ක් රැස් කළේ ය.
වසර 4කට පසු ජාත්‍යන්තර එක්දින තරගයකට ක්‍රීඩා කළ නායක දිමුත් කරුණාරත්න සිය එක්දින දිවියේ දෙවන අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 77කි.
කුසල් මෙන්ඩිස් එක්දින දිවියේ 15 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 66ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැඳී සිටි ලහිරු තිරිමාන්න ලකුණු 44ක් රැස් කළේ ය.
ජීවන් මෙන්ඩිස් ලකුණු 13ක් හා ඉසුරු උදාන ලකුණු 15ක් රැස් කළ අතර සුරංග ලක්මාල් නොදැවී ලකුණු 15යි.
ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 322කි.
පන්දු යැවීමේදී බ්‍රැඩ් වීල් කඩුලු 3ක් දවා ගත් අතර සෆ්යාන් සරීෆ් කඩුලු 2ක් දවා ගත්තේ ය.
අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 323ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 27ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 132ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.
ඒ හේතුවෙන් තරගය තාවකාලිකව නතර කෙරුණු අතර, අනතුරුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඔවුන්ට තරගය ජය ගැනීම සඳහා පන්දුවාර 34කදී හිමි වූ ඉලක්කය ලකුණු 235කි.
ඒ අනුව වර්ෂාවෙන් පසුව ඔවුන් පන්දුවාර 7කදී තරගය ජය ගැනීම සඳහා ලබා ගත යුතු වූ ඉලක්කය ලකුණු 103කි.
කෙසේ වෙතත් ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 199ක් පමණි.
මැතිව් ක්‍රොස් ලකුණු 55ක් රැස් කළ අතර නායක කයිල් කොඑයස්ටර් ලකුණු 34ක් රැස් කළේ ය.
ජෝර්ජ් මුන්සේ ලකුණු 61යි.
පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් ලකුණු 34කට කඩුලු 4ක් දවා ගත් අතර සුරංග ලක්මාල් කඩුලු 2ක් දවා ගත්තේ ය.
ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයක් ජය ගත්තේ අඛණ්ඩව ලැබූ එක්දින තරග 8ක පරාජයෙන් පසුව ය.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගත්තේ 2016 වසරේ අයර්ලන්තයට එරෙහිව ය.
Rate this item
(0 votes)