April 27, 2024

බංගලාදේශයට එරෙහි ශ‍්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කරයි

February 08, 2018

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සඳහා දිනේෂ් චන්දිමාල් නම් කර තිබේ. ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පාදයේ අබාධයකට ලක්වීම හේතුවෙන් චන්දිමාල්ට මෙම තරගාවලියේදීත් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව තිබේ.

වසර හතරකට ඉහතදීත් ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ ලෝක කුසලාන කණ්ඩායමේ නායකයාව සිටි චන්දිමාල්ට නායකත්වය අහිමි වූයේද බංග්ලාදේශයේදීමය.

චන්දිමාල් විස්සයි20 කණ්ඩායමට ඇතුළත්ව සිටින්නේ වසරකට පමණ පසුව වන අතර අවසන් වරට ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විස්සය20 තරගයකට සහභාගි වී ඇත්තේ 2017 වසරේ ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිවය.

2010 වසරේදී නවසීලන්තයට එරෙහිව විස්සය20 ජාත්‍යන්තර වරම් දිනාගත් චන්දිමාල් මේ දක්වා විස්සය20 තරග 48 කට ක්‍රීඩා කර ඇති අතර එහිදී අර්ධ ශතක 4 ක් සමගින් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 720 කි. තරගයකදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 18 ක් වන අතර පන්දු 100 කදී ලකුණු ලබාගැනීමේ වේගය 103.29 ක අගයක් ගනී.

ඊයේ නම් කළ සංචිතයට පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් කැදවිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

35 හැවිරිදි ජීවන් මෙන්ඩිස් අවසන් වරට ජාත්‍යන්තර පන්දුවාර 20 තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2013 වසරේ වුවද, අදාළ තරග රටාවේ ලොව පුරා පැවති ලීග් තරගවල දී වාර්තා කළ දස්කම් ද සමඟින් පන්දුවාර 20 තරග 120ක දී ලකුණු 1800කට සහ කඩුලු 60කට ඔහු හිමිකම් කියයි.මෙන්ඩිස් මේ දිනවල පැවැත්වෙන දේශීය පළමුපෙළ තරඟාවලියේ සුපිරි දක්ෂතා පෙන්වමින් සිටියි.

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගී වූ පන්දුවාර 20 ජාත්‍යන්තර තරගයේ දී කණ්ඩායමේ නායකත්වය දැරූ තිසර පෙරේරා කණ්ඩායමේ සිය ස්ථානය ආරක්ෂා කරගෙන ඇති අතර එම කණ්ඩායමට ඇතුළත්ව සිටි චතුරංග ද සිල්වා, සචිත් පතිරණ සහ සධීර සමරවික්‍රම කණ්ඩායමෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ආබාධයකට ලක්ව සිටින දුෂ්මන්ත චමීර මෙම සංචිතයට ඇතුළත් වී නොමැති අතර බංග්ලාදේශ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය තුල දී ජාත්‍යන්තර තරග වරම් දිනා ගත් වේගපන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක මෙන්ම 20 හැවිරිදි යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද මෙම සංචිතයට ඇතුළත්ව සිටියි. අසිත ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙන්නේ එක් එක්දින තරගයකට පමණි.

වමතින් දඟපන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සෝ, පා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ මෙන්ම වමතින් වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ද ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතය සඳහා නැවත කැඳවා ඇත.

ප්‍රවීණ ක්‍රීඩක ලසිත් මාලිංග ද බංග්ලාදේශ තරග සංචාරයේ පන්දුවාර 20 සංචිතයේ ක්‍රීඩකයන් 15 දෙනා අතර ස්ථානයක් හිමි කර ගැනීමට අසමත් වී ඇති අතර, ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වී සිටි දීර්ඝ කාලයෙන් අනතුරුව මාලිංග එක්දින තරග 13ක දී දවාගෙන ඇත්තේ කඩුලු 10ක් පමණි. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ පැවති තරග සංචාර සඳහා ඔහුව යොදා නොගැනීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත් ඔහුගේ නැවත පැමිණීමෙන් පසු පන්දුවාර 20 තරග තුල දී දැක්වූ දස්කම් ඉහළ මට්ටමක පැවතුනි. මාලිංග පසුගිය පන්දුවාර 20 තරග 6 තුල දී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 12ක්.

තරග දෙකකින් සමන්විත මෙම පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පෙබරවාරි 15 වැනිදා පැවැත්වෙන අතර දෙවන තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ පෙබරවාරි 18 වැනිදා යි.

ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මධුෂංක, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, අමිල අපොන්සු, ජීවන් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු

Rate this item
(0 votes)