April 26, 2024

වාර්ථාගත තරඟයේදී හසිත, භානුක රාජපක්ෂගේ වාර්ථාව බිඳ දමයි…

වයස 19 න් පහළ අන්තර්ජාතික තරගයකදී පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට හසිත බෝයගොඩ සමත් විය. නවසීලන්තයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ඊයේ(23 වැනිදා) පැවැති පළඟ අර්ධ අවසන් පූරව තරගයකදී කෙන්යාවට එරෙහිව ලකුණු 191 ක් රැස්කරමින් එම වාර්තාවට හිමිකම් කීය

හසිතයේ දැවැන්ත ඉනිම නිසා මෙම තරගයේදී කෙන්යාව පරදවා ලකුණු 311 ක වාර්තාගත ජයක් අත්කර ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

දකුණතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකරුවා පන්දු 151 කින් ලකුණු 191 ක් ලබාගත් හෙයින් ඕවර 50 ක් ඇතුළත කඩුලු 4 කට ලකුණු 419 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත් විය. පන්දු 39 කදී අර්ධ ශතකය සම්පූර්ණ කළ මෙම දකුණත් පිතිකරුවා, පන්දු 88 කදී ශතකය සම්පූර්ණ කළ අතර පන්දු 126 කදී ලකුණු 150 සීමාවද පසුකර ගියේය.

බෝයේගොඩගේ මෙම ඉනිමශ්‍රී ලංකා 19 න් පහල ක්‍රීඩකයෙකු ලබාගත් ඉහලම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා වූ අතර මීට පෙර මෙම වාර්ථාවට හිමිකම් කිව්වේ භානුක රාජපක්ෂ වන අතර ඔහු 2009 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී රැස්කර තිබූ ලකුණු ප්‍රමාණය 154 කි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ලක්ෂාන් (29) සමග එක්ව පන්දු 68 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට බෝයගොඩ සමත් විය. ඉන් නොනැවණ ඔහු නිෂාන් මධුසංක (60) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 133 කදී ලකුණු 147 ක සම්බන්ධතාවක්ද, ජෙහාන් ඩැනියෙල් (37) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

ද්විත්ව ශතකයට ලකුණු 9 ක් මෙපිටින් සිටියදී රෙනී වෙයාගේ පන්දුවක් හමුවේ අන්කිත් හිරානි අතට උඩ පන්දුවක් දෙමින් ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස බෝයගොඩ පිටියෙන් ඉවත්ව ගියේය. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාව 339 ක් ලෙස සටහන් විය.

බෝයගොඩගේ දැවී යෑමෙන් අනතුරුව කමිඳු මෙන්ඩිස් (නොදැවී 53) සහ නිවනිඳු ප්‍රනාන්දු (නොදැවී 35) එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 80 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

පන්දු 21 කදී වාර්තා වූ කමිඳුගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර නිවනිඳුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 420 ක ඉලක්කයක් හඹාගිය කෙන්යා කණ්ඩායම ඕවර 35.5 ක් අවසානයේ ලකුණු 108 කට සීමා කිරීමට හරීන් බුද්ධිල ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ බුද්ධිල, නිලකුණු ඕවරයක්ද සමගින් සිය ඕවර 10 ලකුණු 27 කට සීමාකරගත් අතර කඩුලු 4 ක් දවාගත්තේය.

Rate this item
(1 Vote)