March 19, 2024

තරඟාවලියේ ආරම්භයේ සිට තිසර උත්සාහ කල දේ සාර්ථක වෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය අහිමි වීමෙන් පසුව තමා ක්‍රීඩා කල තරඟ තුනේම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමට මහත් උත්සාහයක් ගත් තිසර පෙරේරාට ඉකුත් තරඟ දෙක තුලම අවශ්‍ය සහය නොලැබීම නිසා ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකිව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට කලකට පසුව එක්දින ජයක් ලබාදීමට තුන් ඉරියව්වෙන් දක්ෂතා පෙන්වූ තිසර පෙරේරා ඊයේ සමත් විය.

කාසිය වාසිය දිනාගත් සිම්බාබ්වේ නායකයා පළමුව පන්දුවට පහර දීමේ අවස්තාව තම කණ්ඩායමට ලබාගත් අතර සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 44 ක් අවසානයේදී ලකුණු 198 කට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. තරඟාවලිය පුරා කඩුලු අතර සිටින තිසර පෙරේරා (33/4) සහ නුවන් ප්‍රදීප් (28/3) ගේ පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ ක්‍රීඩකයන් අසරණ වන ආකාරය අද දක්නට ලැබිණි.

සිම්බාබ්වේ කණ්ඩායම අවසන් වරට හමුවූ අවස්ථාවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හොඳින් මුහුණ දුන් සිකන්දර් රාසා ස්ථාවර වීමට පෙර දවාගැනිමට කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු රැකීම අද ඉවහල් විය. ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ රාසා ගැසූ වේගවත් ස්ලොග් ස්වීප් පහරින් පන්දුව තම හිසට ඉහළින් ඇදී යද්දී ගුවනට පැන කුසල් මෙන්ඩිස් එය උඩපන්දුවක් කරගැනීම සමඟ රාසාට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 9 ක් පමණි.

සිම්බාබ්වේ ඉනිමේ ලකුණු 73 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී බ්‍රෙන්ඩන් ටේලර් සමගින් එක්ව පස්වැනි කඩුල්ල සදහා ලකුණු 66 ක සම්බන්ධතාවයක් පවත්වමින් කඩා වැටුණු සිම්බාබ්වේ ඉනිම තරමක් දුරට ගොඩනැගීමට මැල්කම් වොලර් සමත්විය.

කඩාවැටුණු සිම්බාබ්වේ ඉනිමට තරමක් දුරට ජීවය දෙමින් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමිමට උත්සහ කළ බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 58 ක් ලබාසිටියදී දැවී ගිය අතර සිය 33 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 63 කදී ලබාගත් බ්‍රෙන්ඩන් ටේලර් දැවීයන විට පන්දු 80 කට මුහුණදී හතරේ පහර 6 ක් ඉනිමට එක්කරගෙන සිටියේය.

කඩුලු 7 කට ලකුණු 191 ක් ලෙස පැවැති සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු පුවරුවට තවත් ලකුණු 7ක් එකතු වීමේදී අවසාන කරමින් නුවන් ප්‍රදීප් අවසන් කඩුලු 3 දවාගැනීමට සමත්විය.
ජයග‍්‍රහණය සදහා ලකුණු 199ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44.5කදී කඩුලු 05ක් පමණක් දැවි සිය ජයග‍්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වූ අතර ,

ලකුණු 145කට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රබල කඩුලු 05ක් දැවී අසරණ වී සිටි අවස්ථාවේ පිටියට එක්වූ තිසර පෙරේරා වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 26කදී හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුනු 39ක් රැස් කලහ.

දිනේෂ් චන්දිමාල් සමග එක්වෙමින් හයවැනි කඩුල්ල සදහා ලකුණු 57ක සම්බන්ධතාවක් පැවැත්වීමටද තිසර පෙරේරා සමත් වු අතර දිනේෂ් චන්දිමාල් පන්දු 71ක මුහුණ දෙමින් නොදැවී ලකුණු 38ක් රැස් කළේය.

ආරම්භයේ සිටම තරමක පීඩනයෙන් පන්දුවට පහරදෙමින් සිටි උපුල් තරංග පළමු කඩුල්ල ලෙස දැවීයන විට පන්දු 34 කදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 17 ක් පමණි.

දෙවැනි කඩුල්ල සදහා කුසල් මෙන්ඩිස් සමගින් ලකුණු 70 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ කුසල් පෙරේරා අර්ධ ශතකයට ලකුණක් තිබියදී දැවී ගියේ පිට ඉන්නට පිටින් යන පන්දුවකට පිත්ත රුවා දැක්වීමට යාමෙනි
ඉකුත් තරඟ දෙකට වඩා විශ්වාසයෙන් පන්දුවට පහරදෙමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක් ලබාසිටියදි බ්ලෙසින් මුසරබානිගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

දික්වැල්ල හා අසේල ගුණරත්නට අද දිනයේදීද සාර්ථක වීමට සිම්බාබ්වේ පන්දුයවන්නන් ඉඩ නොතැබූ අතර දික්වැල්ල ලකුණු 7කටත් අසේල ලකුණු 9කටත් දැවී ගියහ

පන්දු යැවීමේදි මුසරබානී ලකුණු 52කට කඩුලු 03ක් දවා ගත් අතර ජාව්ස් හා චටාරා එක කඩුල්ල බැගින් දවා ගත්හ.

කෙසේ වෙතත් පන්දුවාර 40කට පෙර තරගය ජයග්‍රහණය කලේ නම් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ප‍්‍රසාද ලකුණක් හිමිකරගැනීමට අවස්ථාව තිබුණු නමුත් මැද පෙළ කඩුලු ඉක්මනින් බිඳ වැටීම නිසා ශ්‍රී ලංකාවට මෙම අවස්තාව මඟ හැරුණි.

තරගයේ වීරයා සම්මානය හිමිවුණේ තරඟයේ තුන් ඉරියව්වෙන් දක්ෂතා පෙන්වූ තිසර පෙරේරා ටය.

Rate this item
(1 Vote)