April 27, 2024

ග‍්‍රෑන්ඩ්හෝම් - නිකලස් නවසීලන්තය දිනවති

සංචාරක පාකිස්තානු කන්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ හැමිල්ටන් හීදී පැවැති සිව්වැනි එක්දින තරගයෙන් කඩුලු 05ක් විශිෂ්ට ජයක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 4-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම ඉදිරියෙන් පසුවෙයි.

ජයග‍්‍රහණය සදහා ලකුණු 263ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45.5කදී කඩුලු 05ක් පමණක් දැවී තිබයදී සිය ජයග‍්‍රහණය තහවුරු කර ගත්හ.

එහිදී පාකිස්තානු පන්දුයවන්නන්ට අනුකම්පා විරහිතව ප‍්‍රහාරයක් දියත් කරමින් සිය මංගල අර්ධ ශතකය වාර්තා කරගත් කොලින් ඩී ග‍්‍රෑන්ඩ්හෝම් පන්දු 40කදී දැවැන්ත හයේ පහර 05ක් හා හතරේ පහර 07ක් සමගින් නොදැවී ලකුණු 74ක් රැස් කළේය.

ග‍්‍රෑන්ඩ්හෝම් හට අනගි සහයක් ලබාදුන් හෙන්රි නිකලස් ස්ථාවර ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 70කදී හතරේ පහර 03ක් සමගින් නොදැවී ලකුණු 52ක් රැස් කළ අතර හයවැනි කඩුල්ල වෙනුවෙන් ග‍්‍රෑන්ඩ්හෝම් හා එක්ව නොදැවුණු ලකුනු 109ක් සම්බන්ධතාවක් පවත්වමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

ආරම්භක පිතිකරු කොලින් මුන්රෝ නවසිලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පන්දු 58කදී හයේ පහර 02ක් හා හතරේ පහර 08ක් සමගින් ලකුණු 56 රැස් කළේය.

පන්දු යැවීමේදී පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් ශදාබ් ඛාන් ලකුණු 42කට කඩුලු 03ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 262ක් ලබාගත්හ.

එහිදී මොහාමඩ් හෆීස් පාකිස්තානු කණ්ඩායමේ වැඩිම ලකුනු ලාභියා වෙමින් හයේ පහර 04ක් හා හතරේ පහර 05ක් සමගින් ලකුණු 81ක් රැස් කළ අතර ආරම්භක පිතිකරු ෆකර් සමාන් ලකුණු 54ක් ලබා ගැනීමට සමත්විය.

පන්දු යැවමේදී නවසිලන්ත කණ්ඩායම වෙනුවෙන් ටිම් සවුති ලකුනු 44කට කඩුලු 03ක්ද විලියම්සන් ලකුණු 32කට කඩුලු 02ක්ද දවා ගැනිමට සමත්විය

තරගයේ වීරයා සම්මානය කොලින් ඩී ග‍්‍රෑන්ඩ්හෝම් හට හිමිවිය.

පාකිස්තානුු කණ්ඩායම – පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 262
(මොහොමඩ් හෆීස් 81, ෆකර් සමාන් 54, සෆ්රාස් අහමඩි 51, හැරිස් සොහිල් 50, ටිම් සවුති 3/44, කේන් විලියම්ස්න් 2/32)

නවසීලන්ත කණ්ඩායම – පන්දුවාර 45.5ක් තුළ කඩුලු 05ක් දැවී ලකුණු 263
(කොලින් ඩී ග‍්‍රෑන්ඩ්හෝම් නොදැවී 74, කොලින් මුන්රෝ 56, හෙන්රි නිකලස් නොදැවී 52, ෂඩාබ් ඛාන් 3/42)

Rate this item
(4 votes)