April 27, 2024

ලෝක කුසලානයේ වැඩ අල්ලමින් ශ‍්‍රී ලංකා පිළෙන් අයර්ලන්තයට ප‍්‍රහාරයක්..

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අයර්ලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් හිමිකරගැනිමට ශ‍්‍රි ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද සමත්විය.

වර්ෂාව හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 48බැගින් නියමිත වූ මෙම තරගයේ ජයග‍්‍රහණය සදහා ලකුණු 208ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37.3 කදී කඩුලු 03ක් පමණක් දැවී තිබියදී සිය ජයග‍්‍රාහී ඉලක්කය සපුරා ගත්තේය.

එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ආරම්භක පිතිකරු ධනංජය ලක්ෂාන් පන්දු 120කදී එක් හයේ පහරක් හා හතරේ පහර 08ක් සමගින් නොදැවී ලකුනු 101ක් ලබා ගත් අතර නායක කමිදු මෙන්ඩිස් සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 157ක සම්බන්ධතාවක්ද පැවැත්වීමට සමත් විය.

ධනංජයට නොදැවෙනි ඉනිමක් ක‍්‍රීඩා කළ නායක කමිදු මෙන්ඩිස් පන්දු 74කට මුහුණදෙමින් නොදැවී ලකුණු 74ක් රැුස් කරගත් අතර එයට අලංකාර හතරේ පහර 6ක් ඇතුළත් විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස හසිත බෝයගොඩ ලකුණු නොලබා දැවී ගිය අතර නිපුන් ධනංජයට එක් ලකුණකටද , ක‍්‍රීෂාන් ආරච්චිගේ ලකුනු 17කටද දැවී ගියේය.

කාසිය වාසිය දිනු අයර්ලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන්ට පන්දුවාර 48කදී කඩුලු 08ක් දැවී ලබාගත් හැකි වුයේ ලකුණු 207ක් පමණි.

එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ජමී ග‍්‍රාසි එක් හයේ පහරක් හා හතරේ පහර 07ක් සමගින් ලකුණු 75ක් රැස් කළ අතර මාක් ඩොනිගන් හතරේ පහර 03ක් සමගින් ලකුණු 36ක් රැස් කළේය.

08 වැනි පිිතිකරු ලෙසින් පිටියට පිවිසි ලිට්ල් ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් පන්දු 19ක් තුළ එක් හයේ පහරක් හා හතරේ පහර 02ක් සමගින් ලකුනු 25 රැස් කිරිමට සමත්විය.

නායක කමිදු මෙන්ඩිස් සිය පන්දුවාර 10 ලකුණු 35කට සීමා කරමින් කඩුලු 03ක් බිදහෙළීමට සමත් වු අතර නිපුන් මාලිංග හා ජෙහාන් ඩැනියෙල් එක් කඩුල්ල බැගින් බිදහෙළීමට සමත්වූහ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය ලබන 17 වැනිදා ප‍්‍රබල ඇෆ්ගනිස්තානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි

Rate this item
(0 votes)