April 26, 2024

“25-26 කෙනෙක්ටනම් කමක් නෑ ,මට විවේක දුන්නේ ඇයි..”-මාලිංග

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මුරලි සහ වාස් හැරුන විට වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් පන්දු යවන්නෙකු ලෙස ගෙන දුන්නා නම් ඒ ක්‍රීඩකයා ලසිත් මාලිංගය.එමෙන්ම ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වීමටද මෙම පන්දු යවන්නාට හැකියාව ලැබුන අතර මාලිංග ක්‍රිකට් පිටියට පැමිණි මුල් කාලයේ බොහෝ දෙනා කිව්වේ “ඔය හාදය වැඩි කාලයක් ක්‍රිකට් ගහන්නේ නෑ” කියාය.

එසේ කීමට හේතු වුනේ මාලිංගගේ අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්වය.එම ඉරියව්ව නිසා මාලිංග යම් අබාදයන්ට ලක් වුවද ජාතියේ වාසනාවකට ඔහු තවමත් ක්‍රිකට් ගහන නමුත් දැන් මාලිංගට ජාතික කණ්ඩායම තෝරන මුල් ක්‍රීඩකයන් 23 දෙනා අතරවත් ඉඩක් නොමැති වීම පුදුමයට කරුණකි.

ඉදිරියේ පැවැත්වෙන ශ්‍රී ලංකා,සිම්බාබ්වේ සහ බංගලාදේශ තුන් කොන් තරඟාවලියට සුදානම් වීමට නම් කල මුලික සංචිතයට මාලිංගගේ නම නැති අතර ක්‍රිකට් තේරීම් කමිටුව පවසන්නේ ඔහු විවේක ගැන්වීම මෙහි අරමුණ බවය.නමුත් මාලිංග විවේක ගන්නා අකාරයක් නොපෙනෙන අතර ඔහු දේශීය පළමුපෙළ තරඟ වලට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් වලට සහය පන්දු යවන්නෙකු ලෙස සහභාගී වන ආකාරයද පසුගිය දිනවල දකින්නට ලැබිණි.මාලිංග කියන්නේ ශ්‍රී ලංකාවට සහය පන්දු යවන්නන්ගේ සේවය අවශ්‍ය නිසා තමා මෙලෙස පුහුණු වීම් සඳහා පැමිණෙන බවය.

“මම ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ආරම්භ කලේ සහය පන්දු යවන්නෙක් (net bowler) කෙනෙක් විදියට ඉතින් ඒ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් අවශ්‍යයි ඒ දේ දීල සහයක් වෙන්න තමයි මම පුහුණුවීම් වලට ආවේ.”

තමාගේ මීළඟ ඉලක්කය 2019 ලෝක කුසලානය බවත් තමාට විවේක දුන් කරුණ සිතාගත නොහැකි බවත් මාලිංග පවසා ඇත.

“මම තොරාගන්නවනම්,මම උපරිම සුදානමින් ඉන්නේ. මට හිතාගන්න බෑ ඇයි මට අවස්ථාව දෙන්නේ නැත්තේ කියල.සාමන්‍යයෙන් අවරුදු 25 -26 වගේ ක්‍රීඩකයන්ට විවේක දෙනවා.මොකද තව කාලයක් එයාලගෙන් ජාතික කණ්ඩායමට වැඩ ගන්න පුළුවන් නිසා.අපේ වයසේ අයට එහෙම විවේක දෙන්නේ මොනවටද ,තව අව්රුද්දක් දෙකක් ඕනනම් ක්‍රිකට් ගහයි,ඉතින් ඒ කාලේ ක්‍රිකට් ගහන්න නොදී විවේක දුන්නම ක්‍රිකට් ගහන්නේ කවදද,මට හිතන්න බෑ ඔවුන් මතු කරන කතාවේ තේරුම මොකද්ද කියල.”

ලසිත් මාලිංග අවසන් වරට ක්‍රීඩා කල BPL තරඟාවලියේ පන්දුවාරයකට ලකුණු 8.61 ක් ලබා දෙමින් තරඟ 8ක් තුල කඩුලු 8ක් දවාගෙන තිබෙන අතර ජාතික කණ්ඩායමේ අවසාන කාලයේ පෙන්වූ දක්ෂතාවන් ප්‍රමාණවත් නැති වීම මෙලෙස තමා ඉවත් කිරීමට හේතුවක් ලෙස තමා නොදකින බවද මාලිංග පවසා ඇත.

“මම ආභාදයෙන් පස්සේ කණ්ඩායමට ආවට පස්සේ තරඟ 13 කදී කඩුලු 10ක් ගත්ත .මගේ පලවෙනි අව්රුදෙත් මට වැඩිය කඩුලු ගන්න ලැබුනේ නෑ.හැබැයි ඊට පස්සේ මම අවරුදු 14ක් ලංකාවට සාර්ථක ක්‍රීඩා කලා.මම කියපු තරඟ 13 දී මගේ පන්දු වලට උඩපන්දු 12 ක් අතැරලා තියනවා, එකට මමද වැරදී.අන්තිමේ මට තමයි ඒකට දඬුවම් ලැබිල තියෙන්නේ.”

“මම කපන්නේ මගේ දක්ෂතා නැතුව කියල කවුරුවත් කියල නෑනේ,එහෙමනම් දක්ෂතා පෙන්නලා නැවත කණ්ඩායමට එන්න පුළුවන්.හැබැයි එතන තියෙන්නේ වෙන හේතුවක් නම් තේරීම් කමිටු වෙනස් වෙනකන් ඉන්න වෙනවා කණ්ඩායමට එන්න.”

තමා ක්‍රිකට් නතර කිරීමට සුදානමක් නැති බවද එම නිසා තවමත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන බවද මාලිංග අවසාන වශයෙන් පවසා ඇත.”මම ක්‍රිකට් නතර කරලා නෑ,ඒ නිසා තවමත් මට අවස්ථාව තියන තැන් වල මම ක්‍රීඩා කරනවා.”

Rate this item
(0 votes)