April 27, 2024

හතුරුසිංහ ශ්‍රී ලංකා පුහුණුකරු වීමෙන් පසු මුලින්ම මාද්‍යයට කියූ කථාව….

December 21, 2017

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනත අනුව පුහුණුකරුවකු තේරීම් කමිටුවේ සාමාජිකයකු ලෙස පත් නොකෙරෙන නමුත් අවසානයේදී තෝරාගනු ලබන කණ්ඩායම සම්බන්ධයෙන් පුහුණුකරුවාටත් වගකීමක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි. ඒ අනුව ජනවාරි 7 වැනිදා පැවැත්වෙන ව්‍යවස්ථා සංශෝධනයේදී අවශ්‍ය වෙනස්කම් කිරීමට සැලසුම්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය.

“අවසන් කණ්ඩායම (11 දෙනා) තෝරාගැනීමේදී පුහුණුකරුවාගේ ශක්තිය දුර්වල වුවහොත් පුහුණුකරුට අවශ්‍ය විදියට කණ්ඩායම හදාගෙන යාමට අමාරුයි. අපි දැක්කා මෙතන අඩුපාඩුවක් තියෙනවා.”

“පුහුණුකරු සහ විශේෂයෙන් කණ්ඩායමේ නායකයා අවසානයට තෝරාගන්නා කණ්ඩායමේ කොටස්කරුවන් විය යුතුයි. වර්තමාන ව්‍යවස්ථාව අනුව පුහුණුකරු තේරීම් කමිටුවේ සාමාජිකයෙක් වෙන්න බෑ. අපි ඔහුව වගකීමට සහ වගවීමට තල්ලු කරනවානම් වගකීමත් එක්ක වගවිමටත් නෛතික භාවයක් දිය යුතුයැයි” තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා වශයෙන් වැඩ බාරගැනීම සම්බන්ධයෙන් ඊයේ (20 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදීය.

වර්තමාන ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන අභියෝගත්, ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වයත්, ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් එක්ක බැලුවම අපිට මේ අවස්ථාවේ මොනවගේ පුහුණුකරුවෙක්ද අවශ්‍ය කියලා සොයනකොට අපිට තිබ්බ ප්‍රධාන දේ තමා නූතන තාක්ෂණයත් එක්ක වර්තමානයේ ක්‍රිකට්වල අභියෝග පිළිබඳ හසල දැනුමක් ඇති විද්‍යාත්මක පදනමක් මත ක්‍රීඩාවට අවතීරණ වන පුහුණුකරුවෙක් විදියට චන්දික හතුරුසිංහ මහතා ප්‍රධාන පුහුණුකරු වශයෙන් තෝරා ගැනීමේදී කටයුතු කළ පිළිවෙත බව සුමතිපාල මහතා පැවැසීය.

අපට තිබූ අමාරුම කාළයේදී කණ්ඩායම රැකබලාගත් වැඩබලන පුහුණුකරු නික් පෝතස් මහතාට ස්තූති කිරීමටද තිලංග සුමතිපාල මහතා අමතක නොකළේය.

“අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව අපේ දෙවැනි ආගම වගේ. අපි හැම කෙනාම බලාපොරොත්ු වන්නේ මොන ක්‍රිඩාවෙන් ඉදිරියට ආවත් වැඩක් නෑ ක්‍රිකට් ක්‍රිඩාවෙන් ඉදිරියට පැමිණියේ නැතිනම්. අනෙක් ක්‍රීඩා සියල්ල එයින් යටවනවා” යයි මාධ්‍ය හමුවට එක්වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් හොද තීරණයක් ගනිමින් චන්දික හතුරුසිංහ මහතා ප්‍රධාන පුහුණුකරු වශයෙන් තෝරා ගැනීම පිළිබඳව ක්‍රීඩා ඇමතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිය පිරිනැමීය.

“ගෞරයක් මෙන්ම ආඩම්බරයක්. හොඳ අවස්ථාවක් තමන්ගේ රටේ පුහුණුකරුවෙකු වෙන්න ලැබීම. හරි කාළයේදී මට මේ අවස්ථාව ලැබිල තියෙන්නේ.” යයි කී හතුරුසිංහ මහතා ඔහුට මෙම අවස්ථාව ලබාදීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාටත් ක්‍රිකට් ආයතනයටත ස්තූති කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය ශක්‌තිය තමා සතු බවත් එය ඉදිරියේදී දැක ගැනීමට හැකි වනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නව පුහුණුකරු ලෙස නිල රාජකාරිය ආරම්භ කිරීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී හතුරුසිංහ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

'ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම පසුබැසීමකට ලක්‌ වෙලා තියෙනවා. මට තේරෙන විදිහට ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාවල අඩුවක්‌ නැහැ. ඒ සියලු දේ කළමනාකරණය කරමින් එක දිගට පවත්වා ගැනීමට නොහැකි වීම තමයි තියෙන ගැටලුව. මම තවම ආව විතරයි. ඉදිරියේදී බලනවා සෑම පාර්ශ්වයක්‌ සමගම සාකච්ඡා කරල අවශ්‍ය කටයුතු කරන්න' යනුවෙන් හතුරුසිංහ පවසයි.

බංග්ලාදේශයේ පුහුණුකරු තනතුර අතහැර දැමුවේ පෞද්ගලික හේතුවක්‌ මත බවත් තමා සහ බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය සමග අත්සන් කරන ලද කොන්ත්‍රාත්තුවේ ඕනෑම වෙලාවක මාස තුනක්‌ ඇතුළත දන්වලා ඉවත්විය හැකි වගන්තියක්‌ තිබූ බවත් හතුරුසිංහ පවසයි.

'මට මේ තනතුර ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. මොකද හරි වෙලාවට මට අවස්‌ථාව ලැබුණා කියලා මම හිතනවා. පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සමග වැඩ කරන විට කලකිරීම් ඇති වුණා. නමුත් මම හැමදාම ඒ කලකිරීම් හිත හිත ඉන්නේ නැහැ. මම ඒ සියල්ල අමතක කරල ඉදිරියට යන්න උත්සහ කරන කෙනෙක්‌. එදා තිබුණ කලකිරීම් ගැන හිතුව නම් මට අද රටට වැඩක්‌ කරන්න තියෙන අවස්‌ථාව නැති වෙනවා.'

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායකත්වය යනු හිසේ ඇම්මට කොට්‌ට මාරු කරන්නාක්‌ මෙන් මාරු වන යුගයක හතුරුසිංහ ඒ සම්බන්ධව මෙසේ පැවසීය. ''ටෙස්‌ට්‌වලට එක්‌ නායකයෙක්‌ වගේම එක්‌දින සහ විස්‌සයි විස්‌සට එක්‌ නායකයෙක්‌ හිටියොත් හොඳයි. නමුත් මම තවම තේරීම් කමිටුව සමග සාකච්ඡා කරලා නැහැ. ඒ නිසා මට ඒ දේවල් කියන්න බැහැ. නමුත් මම මුවර්ස්‌වල, සිඩ්නිවල සහ බංග්ලාදේශයේ කළ සැලසුම් ඉතාමත් සාර්ථක වුණා. ඒ නිසා ඒ සැලසුම් ශ්‍රී ලංකාවේදීත් ක්‍රියාත්මක කරනවා.''

තමාගේ සහය පුහුණුකරුවන් ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රාශියක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සමග රාජකාරී කරන බවත් එබැවින් අලුත් සහයකයන් අවශ්‍ය නොවන බවත් ඉදිරියේ එසේ අවස්‌ථාවක්‌ තිබුණොත් සලකා බැලිය හැකි බවත් හතුරුසිංහ පවසයි.

“දැනට එහෙම අදහසක් නෑ. අපිට අවස්ථාවක් ලැබුනොත් ඉදිරියේදී එම පුහුණුකරුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට බඳවා ගැනීමට හිතලා බලන්න පුළුවන්.... රුමේෂ් රත්නායක, අවිශ්ක ගුණවර්ධන, හෂාන් තිලකරත්න, තිලාන් සමරවීර සහ චමින්ද වාස් වැනි හුඟක් හොද ක්‍රීඩකයින් කණ්ඩායම සමගින් සම්බන්ධ වෙලා ඉන්නවා. ඔවුන්ගේ සහයෝගය සහ දායකත්වය බලලා ඉදිරියේදී උවමනා වුනොත් තව කොහේහෝ තැනක් තියෙනවනම් දියුණු කරන්න අපිට ඒ ගැන හිතලා බලන්න පුළුවන්.” යයිද හතුරුසිංහ මහතා පැවසීය.

චන්දික හතුරුසිංහ රාජකාරිය අරඹන පළමු තරගාවලිය ලබන මස බංග්ලාදේශය සමගින් පැවැත්වෙන අතර හතුරුසිංහ මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම ක්‍රිකට්‌ උප සභාපති කේ. මතිවානන්, ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල සහ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් සමග කර තිබේ.

Rate this item
(0 votes)