April 27, 2024

තීරණාත්මක තරගයට සියල්ල සූදානම්ව තිබියදී ඉන්දියාවෙන් පේ‍්‍රක්ෂකයින්ට අසුබ පුවතක් ..

December 09, 2017

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟමාලාවේ පළමු තරඟය හෙට ධර්මශාලා ක්‍රීඩාංගනයෙදී පැවත්වීමට නියමිත අතර තරඟය සඳහා සහභාගී වන කණ්ඩායම් දෙකම හොඳ සුදානමකින් සිටින බව ඉන්දියාවෙන් ලැබෙන වාර්තා පවසයි.

නිමා වූ ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස අවසන් කිරීමට ඉන්දියානුවන් බලාපොරොත්තුව සිටියත් පසුගිය දා (6) නිමා වූ ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙසින් ජය ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. එම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම එක්දින තරගාවලියට අවතීර්ණ වන්නේ යම් කායික හා මානසික ශක්තියක් ද සමඟිනි.

මුහුදු මට්ටමට අඩි 4000 කට වඩා ඉහලින් පිහිටා ඇති මේ ක්‍රීඩාංගනය ලෝකයේ ඇති දර්ශනීයම ක්‍රීඩාංගනයක් ලෙස පිළිගැනෙන අතර දැඩි සීතලක් සහිත කාලයකට හිම පතිත වන මෙම ක්‍රීඩාංගනය අවට මෙම දිනවල පවතින කාලගුණික තත්වයනම් ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් හිතකර නොවන බව වාර්තා වන අතර පසුගිය දින කිහිපය ක්‍රීඩාංගනය අවට ප්‍රදේශ වලට වැසි පතිත වූ නිසා තරඟය පැවැත්වෙන ඉරිදා දිනයේද තරඟයට වර්ෂාවෙන් බාධා විය හැකි බව කාලගුණ අනාවැකි පවසයි.

එම තත්වය දෙරටේම ක්‍රීඩා ලෝලීනට අසුභ පුවතක් වුවද ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම කාලගුණය ගැනද අනාවැකි කීම අපහසු නිසා තරඟය සාර්ථකව පැවැත්වීමට හැකිවේවා යන්න ක්‍රීඩා ලෝලීන්ගේ පැතුමය.

ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 161ක දී එකිනෙකා හමු වී ඇති අතර, එයින් තරග 88ක ජය ඉන්දීය කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 55ක් පමණි. තවද තවත් තරග 17ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වෙද්දී එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වී ඇත.

කෙසේ වෙතත් මෙම තරඟය සඳහා කණ්ඩායම් දෙකම ප්‍රබල කණ්ඩායම් සුදානම් කර ඇති අතර කණ්ඩායම් දෙකම මෙහෙයවන්නේ එක්දින පිටියට කෝඩුකාර නායකයන් දෙදෙනෙකු විසිනි.තිසර ශ්‍රී ලංකාව මෙහෙය වද්දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීම රෝහිත් ශර්මාට පැවරී ඇති අතර දෙරට අතර ටෙස්ට් තරඟාවලියේ නායකත්වය දැරූ චන්දිමාල් සහ විරාත් කෝලි දෙදෙනාම මෙම තරඟාවලියට සහභාගී වන්නේ නැත.
හෙට ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායමේ ඉනිම ආරම්භ කිරීම රෝහිත් ශර්මා සමඟින් ශිකර් ධවාන් සිදු කරනු ඇති අතර පිතිකරුවන් ලෙස ශේයර් අයර්,දිනේෂ් කාර්තික්,කෙදාර් යාදව් සහ දෝණි කණ්ඩායමට එකතුවීමට වැඩි ඉඩක් ඇති අතර පාන්ඩේ සහ අර්ෂා පටෙල් තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස ක්‍රීඩා කිරීමට ඉඩ ඇත.පන්දු යැවීමේ වගකීම බුම්රා,බුවනේශ්වර් සහ චහාල්ට වැඩි බරක් ඇදීමට සිදුවනු ඇත්තේ අශ්වින් සහ ජඩේජා මෙම එක්දින තරඟාවලිය සඳහාද ක්‍රීඩා නොකරන බැවිනි.ශ්‍රී ලංකාව පසුගිය තරඟ වලදී කුල්දීප් යාදව් හමුවේ අසාර්ථක වීම නිසා ඔහුට අර්ෂා පටෙල් අභිබවමින් කණ්ඩායමට පැමිණීමේ සුදුසුකමක් වීමටද ඉඩක් ඇත.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති එක්දින තරගාවලිය 5-0 ලෙස පරාජයට පත්වුදව තිසර පෙරෙරාගේ නායකත්වය යටතේ මෙම තරගාවලියට මුහුණු දෙන්නේ පසුගිය කාලයේ අභාද නිසා පීඩා විඳි ක්‍රීඩකයන්ගේ නැවත පැමිණීමද සමඟය.

කණ්ඩායම් දෙකෙහිම ප‍්‍රබල ක‍්‍රිඩකයින්..

ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ නියෝජනය කරන මෙම පරිණත ක්‍රීඩකයා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 192කට තම දායකත්වය දක්වා ඇති අතර, ලකුණු 4912ක් රැස්කරගෙන ඇත්තේ 40.93ක් වැනි සැලකිය යුතු ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද රඳවා ගෙනයි.

තවද ඔහු එක් ශතකයක් හා අර්ධ ශතක 35ක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වාර්තා කර ඇති අතර, ඉන්දීය කණ්ඩායමට එරෙහිව සිය එක්දින තරග ඉතිහාසය තුල ලකුණු 46.95ක් වැනි ඉහළ මට්ටමේ සාමාන්‍යයක් රඳවා ගෙන ක්‍රීඩා කර ඇත. තවද අවසන් වරට පැවැත්වුණු ඉන්දු – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග 5ක් තුල ලකුණු 190ක් ලබාගෙන හොඳ දස්කම් දැක්විය.

රෝහිත් ශර්මා

ඉන්දීය නිත්‍ය ක්‍රිකට් නායක කෝලී මෙම එක්දින තරගාවලියෙන් විවේක ගන්වා ඇති නිසා ඉන්දීය කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුල හා පරිණත ක්‍රීඩකයෙකු වන රෝහිත් ශර්මා හට නායකත්වය ලබා දී ඇත.

ශර්මා එක්දින ක්‍රිකට් තරග 171ක් සඳහා සහභාගි වී ලකුණු 6207ක් ලබාගෙන ඇත්තේ 44.33ක් වැනි හොඳ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ඔහු මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරග 42ක දී ලකුණු 1345ක් රැස්කරගෙන ඇත. ඒ ලකුණු අතරට අර්ධ ශතක 5ක් හා ශතක 4ක් ඇතුළත්ව තිබේ.

උපුල් තරංග

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දැරූ මේ වමත් පිතිකරුවා ශ්‍රී ලංකා මැදපෙළ සවිමත් කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන අතර, මේ සුවිශේෂී පිතිකරුවා ජාත්‍යන්තර එක්දින තරග 215ක් තුල දී ලකුණු 6481ක් ලබාගෙන ඇත්තේ, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 34.47ක් වැනි හොඳ මට්ටමක පසුවෙමිනි.

තරංගගේ ඉනිම මෙම තරගයේ දී ශ්‍රී ලංකාවට වැදගත්ම වන ඉනිමකි. ඔහු ශතක 15ක් අර්ධ ශතක 35ක් ලබාගෙන ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. එසේම ඉන්දීය කණ්ඩායමට එදිරිව 29.10ක පමණ සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු ලබාගෙන ඇත.

ශිකර් ධවාන්

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කලක පටන් තම වගකීම් ඉටු කළ මොහු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 93ක දී ලකුණු 3870ක් ලබාගෙන ඇත්තේ ලකුණු 43.97ක පමණ මට්ටමේ හොඳ ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙනයි. ධවාන් එම ලකුණු අතරට ශතක 11ක් හා අර්ධ ශතක 22ක් ලබාගෙන ඇත.

එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරු වීමට හැකි සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස මොහුව හැදින්වීමට හැකිය. ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව 67.91ක් වැනි ඉහළ මට්ටමේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ඔහු සතුව ඇත. තද නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ තරග 4ක් තුල ලකුණු 190ක් ලබා ගැනීමට ධවාන් සමත් විය.

අසේල ගුණරත්න

ශ‍්‍රී ලංකා මැදපෙළ පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට සදහා කණ්ඩායමට කැදවා ඇති මෙම ක‍්‍රීඩකයා පසුගිය ඉන්දියානු ශ‍්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් තරගයේදී අබාධයකට ලක්වීමෙන් පසුව ක‍්‍රීඩා කරන පළමු ජාත්‍යන්තර තරගයයි.

ජාත්‍යන්තර එක්දින ක‍්‍රිකට් තරග 21 වැනි සුලු ප‍්‍රමාණයක් ක‍්‍රීඩා කර ඇති අතර ලකුණු 472ක් රැස් කරගෙන ඇත්තේ 36.30ක ලකුණු ලබාගැනීමට් සාමාන්‍යක් රදවා ගෙනයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වර්තමානයේ සිටින විශ්වාසවන්තම ක‍්‍රිඩකයා ලෙසින් ඔහු හැදින්විය හැකි අතර එක් ශතකයක් හා එක් අර්ධ ශතකයක් රැස් කරගෙන ඇත

ප්‍රබල පන්දු යවන්නන්...

නුවන් ප්‍රදීප්

දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගේ පන්දු හමුවේ නිමා වූ ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පවා පිතිකරුවන් වුවද තරමක දෙගෙඩියාවකින් යුතුව පන්දුවට පහර දෙනු දක්නට ලැබුණි.

එම තරගාවලියේ තරග 3ක් තුල කඩුලු 6ක් දවා ගැනීමට ප්‍රදීප් සමත් විය. ඒ ඔහුගේ දක්ෂ හා වේගවත් පන්දු යැවීමේ විලාසය නිසාවෙනි. ජාත්‍යන්තර එක්දින තරග 23ක දී කඩුලු 26ක් දවා ගැනීමට ප්‍රදීප් සමත්ව ඇති අතර, එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 5.93ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත.

බුවනේස්වර් කුමාර

වයස අවුරුදු 27ක් පමණ වන දකුණත් මඳ වේගපන්දු යවන්නෙකු ලෙස ඉන්දීය පන්දු බල ඇණිය සවිමත් කරන බුවනේස්වර් කුමාර්, ජාත්‍යන්තර එක්දින තරග 78ක දී කඩුලු 85ක් දවා ගැනීමට සමත් වී ඇති අතර, කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 36.82ක් ලෙසින් දක්වන බුවනේස්වර් එක් පන්දු වාරයකට පිතිකරුවන්ට දළ වශයෙන් ලකුණු 4.94ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත. මෙම ක්‍රීඩකයා ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර එක්දින තරග 9කදී කඩුලු 13ක් දවා ගැනීමට සමත් වී තිබේ.

අකිල දනංජය

සෑම විටම තමාටම තමාව අභියෝගයක් කර ගන්නා දකුණතින් පිට දඟපන්දු යවන අකිල දනංජය, ජාත්‍යන්තර එක්දින පිටියට යොවුන් තරුවකි. නමුත් ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග 34ක දී කඩුලු 98ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 3.58ක් වැනි අවම මට්ටමේ ලකුණු ප්‍රමාණයක් ලබා දෙමිනි.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ තරග 11ක් තුල කඩුලු 16ක් දවා ගැනීමට සමත්ව ඇති අකිල පන්දුව පහසුවෙන්ම පන්දුව දඟ කැවීමට උපන් හපනෙකි. එසේම මොහුට පිතිකරණයෙන් ද යම් කාර්යභාරයක් කිරීමට හැකි ක්‍රීඩකයෙකි.

තවද නිමා වූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තුල පැවැත්වූ එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාලූ ක්‍රීඩකයා බවට පත්වූයේ තරග 4ක් තුල කඩුලු 9ක් දවා ගනිමිනි. ඔහු එස සංචාරයේ දී දෙවැනි වූයේ ජාස්ප්‍රිට් බුම්රාට පමණි.

ජාස්ප්‍රිට් බුම්රා

දකුණතින් මඳ වේගපන්දු යවන්නෙකු ලෙසින් ඉන්දීය කණ්ඩායම සතුව සිටින සුපිරිතම තරුවක් වන බුම්රා ජාත්‍යන්තර එක්දින තරග 28ක දී කඩුලු 52ක් දවා ගැනීමට සමත් වී ඇති අතර, දැනට ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර එක්දින තරග 6ක් පමණක් ක්‍රීඩා කර තිබේ. එහි දී ශ්‍රී ලංකා පිලේ කඩුලු 15ක් බිඳ දමා ඇති බුම්රා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ඇතිව අවසන් වූ එක්දින තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ තරග 5ක් තුල කඩුලු 15ක් දවා ගනිමිනි. එහි දී කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 11.26ක් වැනි විශිෂ්ට මට්ටමක තිබුණි.

ලකුණු 27කට කඩුලු 5ක් දවා ගැනීම එක් තරගයක් තුල කණ්ඩායමකට එදිරිව යවන ලද හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති බුම්රා ඉතාමත් අගනා පන්දු සංකලනයක් උපයෝගී කරගෙන පිතිකරුවන් දමනය කිරීමට උපන් හපනෙකි. මේ ක්‍රීඩකයාගේ පන්දු හමුවේ ජාත්‍යන්තර තලයේ පිතිකරුවන් එක පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 4.77ක් පමණ ලබාගෙන ඇත.

පළමු තරගයට ක‍්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම..

1 Thisara Perera (c), 2 Niroshan Dickwella (wk), 3 Danushka Gunathilaka, 4 Sadeera Samarawickrama, 5 Upul Tharanga, 6 Angelo Mathews, 7 Asela Gunaratne, 8 Akila Dananjaya, 9 Nuwan Pradeep, 10 Kusal Perera, 11 Suranga Lakmal

පළමු තරඟයට ක්‍රීඩා කල හැකි ඉන්දීය කණ්ඩායම

1 Rohit Sharma (c), 2 Shikhar Dhawan, 3 Shreyas Iyer, 4 Dinesh Karthik, 5 Kedar Jadhav, 6 MS Dhoni (wk), 7 Hardik Pandya, 8 Bhuvneshwar Kumar, 9 Kuldeep Yadav, 10 Yuzvendra Chahal, and 11 Jasprit Bumrah

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරග කාලසටහන

පළමු එක්දින තරගය – ධරම්සාලා – දෙසැම්බර් 10 පෙ.ව 11.30
දෙවන එක්දින තරගය – මොහාලි – දෙසැම්බර් 13 පෙ.ව 11.30
තෙවන එක්දින තරගය – විශාඛාපට්නම් – දෙසැම්බර් 17 ප.ව 1.30

Rate this item
(0 votes)