April 27, 2024

'රංගනගේ පන්දු යැවීම පාලනය කරන එක ලේසි නෑ'..තරඟයේ දිනුම සමඟ චන්දිමාල්,දිමුත් සතුටු වෙද්දී සෆ්රාස් කියපු දේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයේ ලබාගත් වටිනා ජය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේද හය වන ස්ථානය දක්වා ඉහලට පැමිණ ඇති අතර සියල්ලට වඩා වැදගත් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජිත මානසිකත්වයේ සිට ජයග්‍රහණ සොයා යන ගමන ආරම්භ කිරීමයි.

මෙම තරඟාවලිය සඳහා පිටත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සතු වුයේ පරාජිත මානසිකත්වය මත ප්‍රේක්ෂකයන්ගේද විරෝදයට ලක් වූ ඉන්දීය සංචාරයෙන් හෙම්බත්වී සිටි තරුණ කණ්ඩායමකි.

දෙවන තරඟයේ ජයග්‍රහණය සමඟින් තරඟාවලියේ ජය ලබාගත් පසුව ශ්‍රී ලංකා නායකයා මාද්‍ය වෙත ප්‍රකාශ කලේ තම කණ්ඩායම මෙම ජය සමඟ දැඩි සතුටට පත්ව ඇති බවය.

“මේ ජය අපේ කණ්ඩායම ලබාගත්ත ජයක්,එකේ ගෞරවය අපේ කණ්ඩායමේ හැම දෙනාටම යන්න ඕන.අපි පරාජයන් ලබද්දී අපිව විශ්වාස කරලා අපේ විශ්වාසය ඇති කරපු තේරීම් කමිටුව ඇතුළු නිලධාරීන්ටත් අපි ස්තුති කරන්න ඕන.ඇත්තටම අපි මේ තරඟාවලියට ගොඩක් මහන්සි වුනා,ඒකෙ ප්‍රතිපල ඇවිත් තියනවා දැන්.මේ තරඟාවලියේ අපේ කොල්ලන්ගේ කැපවීම විනය වගේම හැමදේම ගොඩක් හොඳ තැනක තිබුන.ඊයේ රෑ තිබුන පින්න එක්ක අපේ පන්දු යවන්නන්ට පන්දුව අල්ල ගන්න අමාරු වුනා.කොහොම වුනත් අපි දැනගෙන හිටිය රංගන, දිල්රුවන් අපට ඕන දේ කරනවා කියල.”

පාකිස්ථාන කණ්ඩායම පළමු වතාවට ටෙස්ට් තරඟ සඳහා මෙහෙයවූ පාකිස්ථාන නායක සෆ්රාස් අහමඩ් මෙම ප්‍රතිපලය පිලිබඳව තම කනගාටුව ප්‍රකාශ කර ඇත.

“ඇත්තටම අපි අවාසනාවන්තයි.මේ තරඟාවලිය අපි හොඳට කලේ නෑ.අපේ තරඟ හොඳට පටන් ගත්තට ඒවා හොඳට අවසන් කර ගන්න බැරි වුනා.ඒ නිසා අපිට හොඳ ප්‍රතිපලයක් ලැබුනේ නෑ.ලංකාවේ දඟ පන්දු යවන්නෝ තරඟාවලියේ හොඳටම කළා.විශේෂයෙන් රංගනගේ පන්දු යැවීම පාලනය කරන එක ලේසි නෑ.ටෙස්ට් තරඟ නායකත්වය දෙනවා කියන්නේ වෙනස් අත්දැකීමක්,ඉදිරියේ ඒ අභියෝගය සාර්ථක කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕන.”

ඇන්ජලෝ මැතිව්ස්ගේ අභාදය සමඟ ප්‍රවීනතම පිතිකරුවා ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ දෙකේදීම ප්‍රබල මෙහෙයක් කල දිමුත් කරුණාරත්නට මෙම තරඟාවලියේ දෙවන තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා සම්මාන ද හිමි විය.

“මට මේ තරඟාවලියේ ඕන කලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරම වෙන්න,ඒ වගේම පළමු ඉනිමේ සාර්ථක වෙන්න අවශ්‍යයි කියන එකත් මගේ තිබුන ලොකු අරමුණක්.මම හිතන්නේ මේ තරඟ දෙක මම හොඳට කළා.ලොකු දේවල් කරන්න ගියේ නෑ.පුළුවන් තරම් වෙලා කඩුල්ලේ ඉන්නවා කියල හිතපු දේ තමයි සාර්ථක වුනේ.”

 

Rate this item
(3 votes)
Last modified on Wednesday, 11 October 2017 11:11