April 27, 2024

එංගලන්තයට ලකුණු 124 ක දැවැන්ත ජයක්

September 25, 2017

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීගේ වේගවත් ශතකය (102) නිසා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 124 ක පහසු ජයක් අත්කර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 370 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 39.1 ක් අවසානයේ ලකුණු 245 කට සීමා කිරීමට ලියම් ප්ලන්කට් ප්‍රමුඛ එංගලන්ත පන්දුයවන්නෝ සමත් වූහ. ඕවර 8.1 ක් යැවූ ප්ලන්කට් එහිදී කඩුලු 5 ක් දවාගැනීමට සමත් වූයේ ප්‍රතිවාදීන්ට ලකුණු 52 ක් ලබාදෙමිනි.මෙය ප්ලන්කට්ගේ හොඳම එක්දින පන්දු යැවීම මෙන්ම කඩුලු 5ක් දවාගත් පළමු අවස්ථාවද විය.

කොදෙව් ඉනිම විනාශ කර දැමීම සඳහා ප්ලන්කට්ට අනගි සහායක් දුන් අදිල් රෂීඞ් ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගත්තේය. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ ක්‍රිස් ගේල් පන්දු 78 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 94 ක් රැස්කිරීමට සමත් වුවද, කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමට ඔහුට නොහැකි විය.

ගේල් ශතකය පෙනි පෙනී සිටියදී දුවද්දී දවාගැනීමකට හසුකර ගනිමින් ඔහුව පිටියෙන් ඉවත් කිරීමට ආදිල් රෂීඞ් සමත් විය.

ශායි හෝප් (20) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ගේල් ඉන් නොනැවතී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ජේසන් මොහොමඞ් (38) සමග එක්ව පන්දු 74 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් හතර වන කඩුල්ලට පන්දු 120 කදී ලකුණු 132 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ජෝ රූට් (84) සහ බෙන් ස්ටොක්ස් (73) සමත් වූ අතර නායක ඔයින් මෝර්ගන් මෙම තරඟයේදී ද අසාර්ථක වෙමින් තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය.

පන්දු 79 කදී වාර්තා වූ රූට්ගේ 24 වැනි එක්දින අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 63 කදී වාර්තා වූ ස්ටොක්ස්ගේ 10 වැනි අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

රූට් සහ ස්ටොක් දමා දුන් හොඳ පදනමත් සමඟ එංගලන්ත ඉනිමේ 7 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මොයින් අලී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 57 කදී ලකුණු 102 ක් රැස්කළේය. අලීගේ තෙවැනි එක්දින ශතකය වූ ඊට හයේ පහර 8 ක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත විය.

මෙම ශතකයේ පළමු ලකුණු 50 සෙමින් ලබාගත් අලී දෙවන ලකුණු 50 ලබා ගැනීමට වැය කලේ පන්දු 12 ක් පමණක් වන අතර මෙය එක්දින තරඟයක දෙවන ලකුණු 50 අඩුම පන්දු ගණනකින් වාර්තා කල අවසථාව ලෙසට වාර්තා පොත් වලට එකතු විය.

එමෙන්ම අලී පන්දු 52 කින් වාර්තා කල මෙම ශතකය එංගලන්ත පිතිකරුවෙකු වාර්තා කල දෙවන වේගවත්ම ශතකය ලෙසද වාර්තා පොත් අතරට එකතු විය.එංගලන්තය වෙනුවෙන් වේගවත්ම ශතකය ලබාගෙන ඇති පිතිකරුවා වන්නේ ජෝස් බට්ලර් වන අතර ඔහු පන්දු 46 කදී පකිස්ථානයට එරෙහිව ශතකයක් ලබාගෙන ඇත.

එංගලන්ත පිල – ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 369
(ඇලෙක්ස් හේල්ස් 36, ජෝ රූට් 84, බෙන් ස්ටොක්ස් 73, මුයින් අලී 102, ක්‍රිස් වෝක්ස් 34, මිගුවෙල් කමිනිස් 82/3, ජේසන් හොල්ඩර් 81/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල – ඕවර 39.1 කදී සියලු දෙනා දැවී 245
(ක්‍රිස් ගේල් 94, ශායි හෝප් 20, ජේසන් මොහොමඞ් 38, ජේසන් හෝල්ඩර් 34, ලියෑම් ප්ල්න්කට් 52/5, ආදිල් රෂීඞ් 34/3

Rate this item
(0 votes)