April 26, 2024

“දික්වැල්ල කරන දේ වැරදියි..විචාරක කුටියේ මම අසරණයි…”- රසල් ආනල්ඩ්

September 08, 2017

ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ ක්‍රිකට් විචාරක කුටියේ තමන් ඉතා අසීරු කාලයක් ගත කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක රසල් ආර්නල්ඩ් පවසයි.

T20 තරගයෙන් අනතුරුව ඔහු මේ බව පැවසුවේ තරග 9-0ක් ලෙස අවසන්වූ ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව බීබීසි සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

“ගොඩක් අමාරුයි, අපි හැමවෙලේම උත්සහ කරන්නේ හොඳ දේවල් මතුකරන්න, අඩුපාඩු මතුකරන්නේ නැතුව. රට වගේම ක්‍රීඩකයන්වත් ප්‍රොමෝට් කිරීමට තමයි උත්සහ කරන්නේ. හැබැයි ක්‍රීඩකයන්ගෙන් කිසි දෙයක් එන්නේ නැතිවුනාම ඒක ගොඩක් අමාරු වෙනවා” යනුවෙන් රසල් ආර්නල්ඩ් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තම කණ්ඩායම වෙනුවෙන් මීට වැඩි දායකත්වයක් ලබාදිය හැකි බව තමන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ මතයවූ බව ඔහු තවදුරටත් පැවසීය.

දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ කණ්ඩායම ඉදිරියට ගෙන ඒමේ වගකීම ඇත්තේ අන් කවුරුන්ටත් වඩා ක්‍රීඩකයන්ට බව පැවසූ රසල් ආර්නල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායම තම දක්ෂතාවලට අනුව ක්‍රීඩා නොකළ බව කියා සිටියේය.

“අපේ කණ්ඩායමේ දක්ෂතා තිබෙනවා, මං වගේම අනිත් විචාරකයනුත් හිතනවා ක්‍රීඩකයන්ටත් තව පොඩ්ඩක් මීට වඩා කරන්න පුළුවන් කියලා” යැයි ඔහු ප්‍රකාශ කළේය.

ඉන්දීය කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තම හැකියාවන්ට අනුව ක්‍රීඩා නොකළ බව “ඇස් වහගෙන” වුව කිවහැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක රසල් ආර්නල්ඩ් පවසයි.

“මේ ඉන්දියන් කණ්ඩායම අපේ හොඳම ශ්‍රී ලංකා කණ්ඩායමකට වුනත් පරාජය කරන්න අමාරුයි. නමුත් අපිට කරන්න පුළුවන් දේවල් අපි කරන්න ඕන.

“අපේ පන්දු රැකීම, අපේ ෆිට්නස් ප්‍රශ්න තියෙනවා. විරාට් කෝලි ඊයේ ලකුණු අතර දුවපු හැටි බලන්න, ඔහුගේ ෆිට්නෙස්, ඔය වගේ පොඩි දේවල් අපි හදාගන්න ඕනේ” යයි ඔහු කියා සිටියේය.

ශක්තිමත් පළමු පෙළ තරගාවලියක අවශ්‍යතාවය පෙන්වාදුන් රසල් ආර්නල්ඩ් තවදුරටත් කියා සිටියේ “වෙනසක් ආරම්භ විය යුත්තේ ක්‍රීඩකයන්ගෙන්” බවය.

“නිරෝෂන් දික්වැල්ල හරිම දක්ෂයි, හැබැයි එයා විකට් එක විසිකරනවා හැමවෙලේම, ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස. හැමදාම අවුට් වෙන්නේ එක විදිහට. ඉතින් එයා වුනත් බලන්න ඕන මට වැඩිපුර ලකුණු ගහන්නේ කොහොමද කියලා.” ඔහු පැවසීය.

අඩුපාඩු ඇත්තේ ක්‍රීඩකයන්ගේ පමණක් නොව කළමණාකාරිත්වයේ හා පරිපාලනයේ නොවේදැයි විමසු විට ඔහු පැවසුවේ “පරදින කොට පේනවා ගොඩක් දේවල් වැරදියි කියලා, වැරදියි තමයි අපිට ඊට වඩා වෙනස් දේවල් කරන්න පුළුවන්. හැබැයි අපි කොහෙන්ද පටන් ගන්නේ හිටපු ක්‍රීඩකයෙක් ලෙස මට පේනවා ක්‍රීඩකයන්ට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා” යනුවෙනි.

-BBC සිංහල ඇසුරෙනි

Rate this item
(0 votes)